Wed. Feb 5th, 2025

අලි පැන්නීම ලංකාවේ හැමදාම අසාර්ථක වුණා – මෙවරත් සිදුවන්නේ මහජන මුදල් වැයකොට කරන තවත් අසාර්ථක ව්‍යාපෘතියක්..!

අනුරාධපුරයේ අලි පළවා හැරීමේ මෙහෙයුම නිසා මේ දිනවල තවත් ‘අලි ගැටලුවක්’ නිර්මාණය වී තිබේ. ඒ, වනජීවී නිලධාරීන් අපේක්ෂා කළ මාර්ගයේ විල්පත්තුවට නොගොස් හැටක පමණ අලි රංචුවක් ඔයාමඩුව ගොවිපල දෙසට ගමන් කර ඇති බැවිනි. දැන් ඔයාමඩුව අවට ජනතාවගේ අලි ප්‍රශ්නය විසඳීම කළ යුතු වන්නේ ද මේ අලි පන්නා ගෙන ආ වනජීවී නිලධාරීන්ම ය.

කුරුණෑගල, ගිරිබාවේ ද මෙවැනි අලි පළවා හැරීමේ මෙහෙයුමක් පසුගිය දිනවල ආරම්භ විය. අනුරාධපුරයේ සහ කුරුණෑගල එම මෙහෙයුම් පදනම් කරගෙන ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය ගැන ද ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබිණි. අලි පළවා හැරිම මේ වනවිට අවසන් කළ ද ප්‍රශ්නය තවමත් අවසන්ව නැත.

රාජ්‍ය මැදිහත්වීම මත ශ්‍රී ලංකාවේ අලි පළවා හැරීමේ මෙහෙයුම් සිදු කිරීමේ ඉතිහාසය දශක හයක් පැරණි ය. 1959 සිට අලි පලවා හැරීමේ මෙහෙයුම් සිදු කෙරේ. අලි – මිනිස් ගැටුම පාලනයට අලි පළවා හැරීමේ මෙහෙයුම් සිදු කිරීම ඉතිහාසය පුරා අසාර්ථක වී තිබේ. එබැවින් අලි – මිනිස් ගැටුම නිසා බියට පත්ව සිටින දිස්ත්‍රික්ක 19ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 134ක ජීවත් වන ජනතාවගේ ජීවිත සහ දේපළ රැකගන්නේ කෙසේද යන අභියෝගයට අදටත් අපි මුහුණ දී සිටින්නෙමු. එමෙන්ම අලි පළවා හැරීමේ මෙහෙයුම් සඳහා මෙතෙක් වැය කළ ධනස්කන්දයට, අහිමි වූ ජීවිතවලට සහ පර්යේෂකයන්ගේ දැනුමට සාධාරණයක් ඉටු කරන්නේ කවදා ද යන ප්‍රශ්නය තවමත් අප ඉදිරියේ තිබේ.

මිනිසුන් සිටින ස්ථානයකට වන අලි පැමිණියහොත් මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අලි පළවා හැරීම කළ හැකිය. නමුත් අලි – මිනිස් ගැටුමට විසඳුමක් ලෙස අලි පළවා හැරීමක් සිදු කරන්නේ නම් ඉන් සිදුවන්නේ අලි තවත් ප්‍රචණ්ඩත්වයට පත් වීම සහ අලි – මිනිස් ගැටුම තවත් උග්‍ර වීම බවත්, එය සංරක්ෂණ ක්‍රමවේදයන්ට පටහැනි බවත් 2020 දී සකස් කළ ‘ශ්‍රී ලංකවේ අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මගින් විස්තරාත්මකව පෙන්වා දී ඇත.

අලි පළවා හැරීමේ මෙහෙයුම් අසාර්ථක වීමේ ඉතිහාසය, අලි – මිනිස් ගැටුම පාලනයට ඇති යෝජනා මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව අනුගමනය කරන ක්‍රමවේද ගැන මේ ලිපියෙන් අවදානය යොමු කෙරේ.

අනුරාධපුරයේ වන අලි ගැටලුව ගැන දෙසැම්බර් 12 පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේ දී සාකච්ඡා විය.

අනුරාධපුරය දිස්ත්‍රිකයේ, මොරගොඩ සිට උළුක්කුලම, ඇලයාපත්තුව, රනෝරාව හරහා වන අලි විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පළවා හැරීමේ මෙහෙයුම වනජීවී නිලධාරීහු දෙසැම්බර් 15 වැනිදා ආරම්භ කළහ. නමුත් වනජීවී නිලධාරීන් අපේක්ෂා කළ මාර්ගයේ අලි ගමන් කළේ නැත. අලි හැටක පමණ රංචු දෙකක් ලෙස මේ වන විට ඔයාමඩුව ගොවිපළ භුමියේ සහ ඒ අවට පිහිටි නිකවැව සිටිති.

”යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය අරගෙන, ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා තාක්ෂණය භාවිත කරලා තමයි අපි මේක සුදානම් කළේ. නමුත් වර්ෂාවෙන් බාධා වුණා. ඊට පස්සේ අපි කළේ මෙහෙයුම් කරන ක්‍රමවේදය වෙනස් කරලා, ජංගම රථ හතරක් භාවිතා කරලා අලි මංකඩ දෙපැත්තේ තියෙන පාරවල් රකිමින් ගම්මානවලට එන අලි ඒ රක්ෂිතය ඇතුළට යොමු කළා. නමුත් අලි මේ වෙනකොට ඉන්නේ ඔයාමඩුව ෆාම් එකට ගිහිල්ලා. අපි රූට් එක සකස් කළාට ඒගොල්ලෝ ගමන් කරන ආකාරය වෙනස් වෙනවා” යනුවෙන් අනුරාධපුරය වනජීවී කලාපයේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. කේ. එස් චන්ද්‍රරත්න සඳහන් කළේය.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගිරිබවේ සිට අලි පළවා හැරීමේ තවත් මෙහෙයුමක් ආරම්භ කිරීමට වනජීවී නිලධාරීහු උත්සාහ කළහ. නමුත් වගා කර ඇති කුඹුරු මැදින් අලි පළවා හැරීමට ගොවීන් එරෙහි වීම නිසා එය සැලසුම් කළ පරිදි සිදු කිරීමට නොහැකි වී තිබේ.

මෙම අලි පළවා හැරීමේ මෙහෙයුම් සැලසුම් කරනු ලැබුවේ දේශපාලන උවමනාවන් මත බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ වී ඇත. එබැවින් ඒ පිළිබඳව අපි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාරගෙන් විමසීමක් කළෙමු.

”දේශපාලන ස්වරූපයක් තියෙනවා. නමුත් ඒ ආපු ඉල්ලීම අපේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වැඩ එක්කත් ගැලපෙනවා.” යනුවෙන් පැවසූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අලි වෙනත් පරිසරයකට යොමු කිරීමේ දී අනුගමනය කරන ක්‍රමවේදය විස්තර කළේය.

”හැම අවුරුද්දකම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු, ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල දී ඔය වගේ ප්‍රශ්න එනවා. ඒ ඉල්ලීමුත් සලකා බලලා ඇත්තටම අපිට හැඟෙනවා නම් ගැටුම්කාරී තත්ත්වයන් තියෙනවා කියලා ඒ අනුව තීරණයක් ගන්නවා. අපි වෙන තැනකට යොමු කරන්නේ සාමාන්‍ය රංචුවල ඉන්න අලි නෙමෙයි. ප්‍රශ්නකාරී අලි. පොළොන්නරුව, අම්පාර, මහියංගනයේත් පහුගිය දවස්වල මේ වගේ කළා. අපි ඉස්සර වගේ අලින්ව සම්පුර්ණයෙන්ම අතුගා දමන (සියලු අලි පළවා හරින) මෙහෙයුම් දැන් කරන්නේ නෑ”

”මේ ගැන මම දැනුවත්. හැබැයි දැනුවත්බවේ සීමාවල් තියෙනවා. නිලධාරීන් මට එවලා තියෙනවා ජනතාවට පීඩාකාරී ලෙස හැසිරෙන අලි 15ක් 20ක් විතර අනුරාධපුරයේ තැන්තැන්වල ඉන්නවා කියලා. ඒ ටික පන්නන්න ඕනා කියලා. ඒකට අනුමැතිය දීලා තියෙනවා.” යනුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා BBC සිංහල සේවයට පැවසුවේය.

අනුරාධපුරයේ අලි පළවා හැරීමේ මෙහෙයුම පක්ෂයකට සම්බන්ධ පිරිසකයේ වුවමනවට සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ BBC සිංහල සේවයට පැවසුවේ ය.

”වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් ලෝක සහයෝගයක් නෑ. නමුත් ඒ වනජීවී කලාපයේ අය අල්ලාගෙන පක්ෂයකට සම්බන්ධ මිනිස්සු ටිකක් තමයි මේ වැඩේ කරගෙන ගිහින් තියෙන්නේ. එහෙම අධිකාරී බලයක් නැති අයට මේවා කරගෙන දෙන්න යන එක අවිද්‍යාත්මක සහ නීති විරෝධී වැඩක්. අලි පැන්නීම කියන්නේ මාස ගණනක් සැලසුම් කරලා කරන වැඩක් මිස පක්ෂයක පහළ මට්ටමක ඉන්න යට ඕන විදියට කරන්න බෑ.” යනුවෙන් හේමන්ත විතානගේ කියා සිටියේ ය.

අලින්ගේ වාස භූමි වලින් 70%ක් පවතින්නේ මිනිස් ජනාවාස ආශ්‍රිතව වේ. දිවයිනේ මුළු භුමි ප්‍රමාණයෙන් 44%ක අලි ඇතුන් සහ මිනිසුන් එකම භුමි භාගයක ජීවත් වේ. අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමෙන් අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ප්‍රධාන සීමාකාරී සාධකයක් වී ඇත්තේ ගැටුම් ඇතිකරන වැඩිහිටි පිරිමි අලින් ඔවුන්ගේ වාසභූමි වලින් ඉවත්කර රක්ෂිත තුලට සීමා කිරීමට ඇති නොහැකියාව වේ. විදුලි වැටවල් ගසා එම අලි වැඩි දිනක් කොටු කළ තැබිය නොහැක.

අලි – මිනිස් ගැටුම පාලනයට පියවර ගැනීමේ දී අලින්ගේ සමාජ රටාව ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. රංචුවල වැඩිපුර සිටින්නේ ගැහැණු සතුන් සහ පැටවුන් ය. පිරිමි පැටවු අවුරුදු 10 -15ක් පමණ වන විට රංචුවෙන් ඈත් වී හුදෙකලා ජීවිතයක් ගත කරති. තනි අලි ලෙස හඳුන්වන්නේ වැඩිහිටි පිරිමි සතුන් ය. තනි අලි බොහෝ විට හුදෙකලාව සිටිති.

”මේ තනි අලින්ගෙන් කොටසක් තමයි අලි – මිනිස් ගැටුමට වැඩිපුර දායක වෙන්නේ. ගම්මානවලට ඇවිත් ගෙවතු හානි කරන්නේ, වී ගන්න ගෙවල් කඩන්නේ 100%ක් ම වගේ තනි අලි. හුගක් වෙලාවට අලි පන්නන්දී ආපහු හැරිලා මිනිස්සුන්ට පහර දෙන්නේ තනි අලි. නමුත් පන්නන්න පුළුවන් මේ ප්‍රශ්න කරන අලි නෙමෙයි. ගැටුම් අහිකර නොගන්නා ගැහැණු සත්තුයි, පැටවුණුයි. මේ අවිද්‍යාත්මක ක්‍රියාවට අලි ඇතුන් මිනිසුන්ට ප්‍රතිචාර දක්වන්නේ ඉතාම ප්‍රචණ්ඩ විදියටයි. ඉතිං මේ වගේ අලි පන්නන වැඩ වලින් මේ දීර්ඝ කාලින ප්‍රශ්නය විසඳන්න බෑ” යනුවෙන් සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ (CCR) සභාපති, ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු BBC සිංහල සේවයට පැවසුවේ ය.

ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ සමස්ත පරිසර පද්ධතියම කැළඹීමට සහ කම්පනයට ලක් කරමින් සිදු කරන මෙවැනි මෙහෙයුම් සිදු කිරීමේ දී එමගින් පක්ෂීන්, ක්ෂීරපායින් වැනි අනෙක් සතුන්ට සිදු කරන බලපෑම හා සමස්ත පරිසර පද්ධතියට කරන බලපෑම ගැන විශේෂ අවදානයක් යොමු කළ යුතු බව ය.

”අලි පැන්නීම ලංකාවේ හැමදාම අසාර්ථක වුණා. පන්නපු අලි ආපහු එන ප්‍රශ්නත් ඒ අලි වෙන ප්‍රදේශවලට යන ප්‍රශ්නත් තියෙනවා. අලියාගේ පැත්තෙන් බැලුවොත් පැටව් රංචුවෙන් වෙන් වෙලා විපතට පත්වෙච්ච අවස්ථාවල් තියෙනවා. මේ අලි වෙඩි දාන අය සේරම වනජීවී දෙපර්තෙන්තුවේ පුහුණු වෙච්ච අය නෙමෙයි. ඒ නිසා අලින්ගේ ඇඟට වෙඩි දාලා තුවාල වුණා, බිහිරි වුණ අවස්ථා තියෙනවා. විශාල පිරිසක් කෑ ගහගෙන, අලිවෙඩි දාගෙන යනකොට කුරුල්ලන් ඇතුළු අනික් සත්තුන්ට, ශාක ප්‍රජාවට වෙන හානිය කවුරුවත් බලන්නේ නෑ” යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය.

”මේක මේ අලි එලෙව්වහම ප්‍රශනය ඉවරයි වගේ සරලව ගන්න බෑ. මේ අපි එක පැත්තකින් ඇති කරන්නේ පරිසර ව්‍යසනයක්. පරිසර විද්‍යාත්මකව ගත්තහම ගොඩක් ප්‍රශ්න තියෙනවා.” යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන වැඩිදුරටත් විස්තර කළේය.

අලි ඇතුන්ගේ චර්යාව, රක්ෂිත ප්‍රදේශවල ඉසුලීම් ධාරිතාව (Carrying capacity), පරිසර විද්‍යාත්මක අවශ්‍යතා සහ කළමනාකරණ සැලසුම්වලට ඔවුන් දක්වන ප්‍රතිචාර යන ප්‍රධාන ජීව විද්‍යාත්මක සාධක අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීම අසාර්ථක වීමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත.

ප්‍රචණ්ඩකාරී අලි ආහාර සහ ජලය ඇති නව පරිසරයකට රැගෙන ගිය ද ඒ ගැන වැඩි තැකීමකින් තොරව නැවත කලින් ජීවත් වූ පරිසරයට පැමිණෙන බවට පර්යේෂණ වාර්තා තිබේ. ගල්ගමුවේ ‘චන්ඩි’ නමින් හඳුන්වනු ලැබූ ඇතා ඊට නිදසුනකි.

මිනිසුන්ට පීඩාකාරී ලෙස හැසිරීම නිසා අවස්ථා තුනක දී ‘චන්ඩි’ වෙනත් ප්‍රදේශවලට රැගෙන ගිය ද එම අවස්ථා තුනේදීම නැවත ගල්ගමුවට පැමිණියේ ය. පළමු අවස්ථාවේ සෝමවතිය ජාතික වනෝද්‍යානයට රැගෙන ගිය අතර දින 28කින් 243Km දුර ගෙවාගෙන නැවත ගල්ගමුවට පැමිණියේ ය. GPS දත්ත විශ්ලේෂණයට අනුව එම අවස්ථාවේ සෝමාවතියෙන් හබරණ දෙසට ගමන් කර, ගලේවෙල හරහා ගල්ගමුවේ ඇහැටුවැව දක්වා පැමිණ තිබිණි. නැවත 2015 වසරේ දී හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගිය ‘චන්ඩි’ මාස හතරකින් පමණ පසු නැවත ගල්ගමුවට පැමිණියේ ය. යළිත් වරක් 2018 දී නැවත හොරෝව්පතනනට රැගෙන ගිය චන්ඩි නැවත මාස තුනකින් පමණ ගල්ගමුවට පැමිණියේ ය.

එමෙන්ම ලුනුගම්වෙහෙටර කොටු කරන ලද අලින්ගෙන් සැලකිය යුතු සංඛ්‍යවක් කුස ගින්නේ මිය ගිය බවට වාර්තා තිබේ. හොරොව්පතානේ අලි රැඳවුම් මද්‍යස්ථානය තවත් අසාර්ථක වූ ව්‍යාපෘතියකි. අලි වෙනත් තැන් වලට යොමු කිරීමේ මෙහෙයුම්වල අසාර්ථක බව ගැන අවබෝධයක් ලැබීමට එම නිදසුන් ඉතා වැදගත් ය.

වනජීවී දෙපාර්තමේන්තුව දැන් සිදු කරනු ලබන්නේ දින කිහිපයක අලි පලවා හැරීමේ මෙහෙයුම් පමණි. අවසන් වරට ලංකාවේ මහා පරිමාණ අලි පළවා හැරීමේ මෙහෙයුමක් සිදු කළේ 2005 -2006 කාලයේ දී ය. වලව වම් ඉවුර යෝජනා ක්‍රමය යටතේ වසර එකහමාරක පමණ කාලයක් පුරා ලුණුගම්වෙහෙරට අලි පළවා හැරීමේ එම මෙහෙයුම සිදු කෙරිණි. නමුත් අදටත් වලව වම ඉවුරේ අලි මිනිස් ගැටුම එලෙසින්ම පවතී.

මින්නේරිය – කවුඩුල්ල මෙන් 90 දශකයේ ලංකාවේ තවත් අලි ඒකරාශී වීමක් (elephant gathering) හඳපානාගල දක්නට ලැබිණි. නමුත් හඳපානාගල අලි යාලට පළවා හැර විදුලි වැට ගසන ලදී. ඉන් අදටත් එම ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම විසඳි නැත. නමුත් විශාල සංචාරක ආකර්ශනයක් දින ගැනීමට තිබූ හඳපානාගල අලි ඒකරාශී වීම පමණක් අපට අහිමි විය.

අතීතයේ දී ලංකාව පුරාම අලි ඇතුන් ජීවත් වී තිබේ. 1751 නොවැම්බර් 25 දින කොළඹ, කොටුවට ඇතුළු වූ වන අලියෙකු කළ පහරදීමකින් මිනිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්විය. 18වන සියවසේ දී වන අලි ඇල්ලීම සඳහා කොළඹ, මාතර සහ මහනුවර අලිගාල් පවත්වාගෙන ගොස් තිබේ. 19 වන සියවසේ දී නුවරඑළිය, හෝටන්තැන්න ප්‍රදේශවල අලි වාර්තා වූ අතර ලබුගම – කලටුවාව ප්‍රදේශයේ ද අලි ගාලක් පැවති බවට සාක්ෂි තිබේ. 1950 දී ලංකාවේ අවසන් අලි ගාල පනාමුරේ පැවති අතර අද ඒ කිසිඳු ප්‍රදේශයක අලි දක්නට නැත. නමුත් අතීතයට වඩා ප්‍රභල ලෙස අද බොහෝ ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම උග්‍ර වී තිබේ.

අලි – මින්ස් ගැටුම විසඳීමට යෝජනා ඇතුළත් ප්‍රධාන වාර්තා තුනක් දැන් අප හමුවේ තිබේ. ඉන් එක් වාර්තාවක් වන්නේ 2024 අප්‍රේල් මස පරිසර යුක්ති කේන්ද්‍රය සකස් කළ අලි – මිනිස් ගැටුම අවම කිරීමේ යෝජනාවලිය (Proposal to Mitigate the Human-Elephant Conflict in Sri Lanka) වේ. එහි ඇතුළත් යෝජනාවලට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබේ. අනෙක් වාර්තාව 2023 දී පාර්ලිමේන්තුවේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සකස් කළ ‘ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම’ ය. අනෙක් වාර්තාව 2020 දී සකස් කරන ලද ‘ශ්‍රී ලංකවේ අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ වේ.

එම වාර්තාවල සඳහන් යෝජනා දැනටමත් වනජීවී දෙපාර්තමේන්තුව අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මක කරමින් පවතී. මාර්ග ඝනත්වය ඉහළ යෑම, ජනගහනය වැඩි වීම, වනාන්තර කණ්ඩනය වැඩිවීම වැනි හේතු නිසා ජනතාව සහ පරිසරය ගැටෙන භුමි ප්‍රමාණය ඉහළ බැවින් අලි – මිනිස් ගැටුම පාලනය අභියෝගයක් වී ඇති බවත් එය රටේ ස්වභාවය මිස කළමනාකරණයේ ගැටලුවක් නොවන බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 2023 වසරට සාපේක්ෂව මේ වසරේ දී අලි මරණ අඩුවීම සතුටුදායක තත්ත්වයකි.

මේ අතර වනඅලි ගම්වැදීම පාලනය කිරීමට අනුරාධපුර , මහවිලච්චිය කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12ක් ඉදිකිරිමට පියවර ගෙන තිබේ. මෙම මුර කුටි ඉදිකිරීම ප්‍රජාවගේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය මත සිදු වේ. එම ඉදිකිරිම් අවසන් වු පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුරකුටි වලට යොදවා ගනිමින් වනඅලි ගම් වැදීම පාලනය කිරීමට නියමිතය. එහි සාර්ථකත්වය මත අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඉදිරි වර්ෂය තුළ අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

කෙසේ නමුත් අලි පළවා හැරීමේ අසාර්ථක ප්‍රයත්නයෙන් ඈත් වී අලි – මිනිස් ගැටුම විසඳීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනෙක් ආයතන සමග එක්ව තවත් සක්‍රිය දායකත්වයක් ලබා දිය යුතු බව පරිසරවේදීහු පවසති.

අලි – මිනිස් ගැටලුව විසඳීම වනජීවී දෙපාර්තමේන්තුවට තනිව කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා අනෙකුත් රාජ්‍ය ආයතන සහ ප්‍රජාව ඒකාබද්ධව සාමූහික වැඩපිළිවළක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුය. ජනතාවගේ ගැටලු විසඳීම දේශපනඥයන්ගේ වගකීමකි. නමුත් ඒ ගැටලු විසඳීමේ දී ප්‍රාදේශීය මට්ටමින් අවිද්‍යාත්මක, මෙතෙක් අසාර්ථක තීරණ නැවත නොගත යුතුය. ජනතාව තාවකාලිකව සතුටු කරන යෝජනා ක්‍රියාත්මක කිරීම වෙනුවට දීර්ඝකාලීන විසඳුම් ගැන අපි අවදානය යොමු කළ යුතුව ඇත්තෙමු.

නමුත් ඉතිහාසය පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ බොහෝ ඇමතිවරු තමන්ගේ ගමේ ගැටලුව පමණක් විසඳන්නට ගොස් මහජන මුදල් අසාර්ථක ව්‍යාපෘති සඳහා වැඩියෙන් වැය කිරීමකි.

දශක හයක් තිස්සේ සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති අලි – මිනිස් ගැටලුවට සාර්ථක විසඳුම් ලබා දීම දැන් ජාතික ජන බලවේගය ආණ්ඩුව හමුවේ ඇති අභියෝගයකි.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා රැසක දී උත්සාහ කළ ද ඔවුන් දුරකතනයට ප්‍රතිචාර දැක්වුයේ නැත.

– BBC

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *