Wed. Jan 22nd, 2025

සිය ආදරණීය පියා ජීවතුන් අතර නැතත් ඔහුගේ පොරොන්දු අකුරටම රකින රටක් ආදරේ කල ආශා එදිරිසිංහ අද කියන කතාව…

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා නිර්මාණය පසුගිය 10 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළා. මේ සිනමා නිර්මාණයේ ඉන්දියානු නළු නිළියන් සමග අපේ රටේ නළු නිළියන් ද රංගනයේ නියැළෙනවා. ඒ අතුරින් කෙනෙක් තමයි ආශා එදිරිසිංහ.
මීට අවුරුදු හයකට විතර කලින් විකාශය වුණු රන් සමනලයෝ, සුළඟ, නිල්නෙතු වැනි ටෙලි නිර්මාණවලින් ඔබ හමුවට ආ ඇය මුලින්ම සිනමාවට එන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘සමත්’ සිනමා නිර්මාණයෙනි. ඒ 2017 වසරේදීය. යළි වසර හතකට පසුව ඇය රිදී තිරයෙන් අපට හමුවන්නේ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා නිර්මාණයෙනි. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කරනු ලබන ‘ගෞතම බුද්ධ මාතා’ චිත්‍රපටයේ කුමාර
කාශ්‍යප මාතාවගේ චරිතයට, එම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවිම් දේශප්‍රිය අයියාගේ බිරිඳ ප්‍රියංකා සමරවීර අක්කා තමයි මුලින්ම ආරාධනා කරන්නේ. මම හරි සතුටු වුණා. මොකද මේ වගේ චරිතයක් රඟපාන්න මට ලොකු හීනයක් තිබුණා. මොන චරිත කරලා තිබුණත් මේ චරිතයට ආරාධනා කළහම ජීවිතයේ පළමු වතාවට ලොකු සතුටක් දැනුණා.

⚫ආශා එදිරිසිංහගේ දෙවැනි චිත්‍රපටය තමයි ‘ගෞතම බුද්ධ මාතා’. ඇය මේ චරිතය භාර ගන්නත් විශේෂ හේතුවක් ඇතිද කියලත් අපි විමසුවා.
“මගේ ජනප්‍රිය ටෙලි නාට්‍ය විකාශය වන කාලේ මට චිත්‍රපටවලට ආරාධනා ලැබුණා නමුත් එකක්වත් භාරගන්න හම්බවුණේ නැහැ. මොකද සමහර චරිත රඟපානවාට මගේ තාත්තා කැමැති වුණේ නැහැ. මම කේෂ්ත්‍රයට එනකොට තාත්තත් එක්ක එකඟතාවකට ඇවිත් තමයි වැඩකරන්න පටන්ගත්තේ. තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. නමුත් මම එදා දුන් ඒ වචනය අදටත් වෙනස් කරන්නේ නැහැ”.

ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ කුමාර කාශ්‍යප මාතාවගේ චරිතය ඇය අපූරුවට රඟදක්වන අයුරු අප මුලින්ම දුටුවේ රන්මිහිතැන්න සිනමා ගම්මානයේදීය. ඉතිං අප ඒ ගැන ඇගෙන් තවදුරටත් විමසුවා.

⚫ඉන්දීය නළු නිළියන් සමඟ කළ රූගත කිරීම් ගැන කතා කළොත්?
ඇත්තටම ඔවුන් සමග බොහොම සුහදව වැඩ කළා. අපේ රංගන ශිල්පින්, ශිල්පිනියන් වගේම කේෂ්ත්‍රය ගැන ගොඩක් දේවල් කතාබහ කළා. ඒ වගේම අපේ
සිංහල නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැනත් බොහොම සතුටින් කතාබහ කළා. ඔවුන්ගේ කිසිම ආඩම්බරකමක් නැහැ.

⚫රූගත කිරීමේදී මුහුණදුන් අසීරුම දර්ශන එහෙම මතකද?
මම මේ කතාවට අනුව ගැබ්බර මෙහෙණින්වහන්සෙ කෙනෙක්නේ. මම මීට කලින් ටෙලි නාට්‍යවල මෙහෙණින්වහන්සේගේ චරිතය කරල තිබුණා. හැබැයි ගැබිනි මෙහෙණින්වහන්සේ නමක් කිව්වහම ඒක හරි අමුතු හැඟීමක්. මේ චරිතය පුරාවටම ආපු අපහසුම අවස්ථාව ඒ හැඟීම තමයි. මොකද අපිට ඒ වගේ අත්දැකීම් ජීවිතයේ නැහැනේ. ගැබිනි මෙහෙණින්වහනසේ නමකගේ චරිතයක් මම කරල තිබුණේම නැහැ. ඒක මට විශේෂ අවස්ථාවක් වුණා. අනිත් එක මට හම්බවෙන කුමාර කාශ්‍යප හැටියට මාසයක් වගේ චූටි බබෙක් තමයි අතට දුන්නේ. එයාව අල්ලද්දී මුලදී බයත් හිතුණා. ඒ දර්ශනයත් මට අමතක වෙන්නේ නැහැ.

⚫මහාචාර්යතුමාගේ මුණගැසීම මොන විදිහටද දකින්නේ ?
2014 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී මම දෙවැනි වතාවට ජනප්‍රිය නිළිය සම්මානය ලබාගන්නකොට, වේදිකාවේදී තමයි මට මහාචාර්ය සුනිල් ආරියරත්න සර් මුලින්ම මුණගැසුණේ. ඊට පසුව තමයි මම සුනිල් ආරියරත්න සර්ව හමුවුණේ. මට හරි ලොකු සතුටක් වගේම ගෞරවයක් තිබුණා. මහාචාර්යතුමාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම මා ලද ලොකු භාග්‍යයක්.

⚫වේෂ නිරූපණය කළ ආකාරය දුටුවම ඔබට ඔබව අඳුරගන්න පුළුවන් වුණා ද?
ඒ ගැන මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ වේෂ නිරූපණ ශිල්පී ප්‍රියන්ත අයියාට. ඇත්තටම තට්ටයක් දැම්ම ද කියලා හිතාගන්න බැරි විදිහට තමයි ඒ විග් එක හදලා තිබුණේ. අනික කිසිම අපහසුතාවක් දැනුණේ නැහැ. ඒ විග් එක දමන්න පැය දෙකහමාරක විතර කාලයක් ගියා. මොකද ඒක ලොකු කාර්යභාරයක්නේ.

⚫මේ දවස්වල වැඩකටයුතු මොනවාද?
මට ලැබුණු නිර්මාණ කිහිපයක්ම අතහැරියා. මොකද මම ආපහු මගේ අධ්‍යාපන කටයුතු පටන්ගත්තා. කාලයක් තිස්සේ කරන්න හිටියත් කරන්න බැරි වුණා. මොකද ටෙලිනාට්‍ය වැඩත් එක්ක ඒ කටයුතු කල් දැම්මා. මේ වෙලාවේ ඒක නොකළොත් අපරාදෙ කියල හිතුණා. මට ප්‍රධාන චරිත ලැබුණ ටෙලිනාට්‍ය තුනකට බෑ කියලා තොරතුරු තාක්ෂණ විභාගයට මුහුණදෙනවා.

⚫ආශා හරි නිශ්ශබ්දයි. ඇයි මේ ?
මම හිතනවා ඒක හරි සැනසිල්ලක් වගේම සනීපයි කියලා. මට වෙනම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අතරෙ මගේ පෞද්ගලික ජීවිතයේ මට එකතු කරගන්න ඕනෑ වටිනාකම් ටිකක් එකතු කර ගන්න ඕනෑනේ. ඉතිං ඒ හින්දා තමයි මම සමහර වෙලාවට නිහඬව ඉන්නේ.

⚫ප්‍රධාන චරිත තුනක් එපා කිව්ව එක අපරාධයක් කියල හිතුණේ නැතිද?
එහෙම හිතපු හින්දයි මම මෙච්චර කාලයක් අධ්‍යාපන කටයුතු කල් දම දමා ආවේ. හැබැයි මට හිතුණා මම මේ කරන්නේ ලොකු මෝඩකමක් කියලා. මොකද ඇත්තටම ඉගෙන ගත්තු දෙයක් අපිට අපේ පෞද්ගලික ජීවිතයට හරි වටිනවානේ. ඉතිං මම හිතුවා ඒකට හරි කාලය තමයි මේ කියලා. එක දෙයක් ලැබෙද්දී තව දෙයක් අනිවාර්යයෙන්ම අතහැරෙනවානේ.ඉතිං මම ඒ දේ අතහැරියා. මම ඒ ගැන දුක්වෙන්නේ නෑ.

⚫ආශා කියන ගායිකාවත් නිහඬයිනේ?
මම ගායනය පැත්තට ලොකුවට සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. නමුත් මට ගායනා කරන්න විවිධ අවස්ථාවලදී අවස්ථාවන් ලැබුණා කිව්වොත් හරි. තව ගීතයක් මේ වනවිට හදලා ඉවරයි. එහි රූපරචනාවත් කොටසක් කරලා ඉවරයි. ළඟදීම ඒ ගීතයත් එළිදක්වන අදහසේ ඉන්නේ. ඒ ගීතය රචනා කළේ මගේ අයියා. එයාගේ ආරාධනාවකට තමයි ඒ ගීතය සිදුකළේ. ගෞතම බුද්ධ මාතා තිරගත වන මේ කාලයේ තාත්තා ජීවතුන් අතර සිටියා නම්, තාත්තා ගොඩක් සතුටුවේවි. තාත්තා මම මේ කේෂ්ත්‍රයට එනවාට ගොඩක් අකැමැති වුණාට පසුකාලීනව මම කරපු චරිත වගේම, මම ලබන ඇගයීම් එක්ක තාත්තා ගොඩක් සතුටු වුණා.

Asha Edirisingha

Divaina Online

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *