Thu. Jan 30th, 2025

ඩොක්ටර් මගෙ Phone number එක සේව් කරගත්තෙ “Miracle Girl” කියලා.

වෙනස් චරිතයක්.. ඒ ඇගේ කතාව අනිත් අයට වඩා වෙනස් වුණ නිසායි.. මේ කියන්න යන්නේ කවුරු ගැනද..?

ඇය නමින් රශ්මි නිමේෂා ගුණවර්ධන… හීන වෙනුවෙන් ජීවත් වෙන ඒ හීන මහන්සි කරගන්න වෙහෙසෙන අපූරු දියණියක්.. ඇය මේ වෙද්දී සරසවි ශිෂ්‍යාවක්.. මේ තරම් දුර ගමනක් එන්න ඇය කළ කැපකිරීම අසීමාන්තිකයි.. දහසක් දරුවන්ට මේ අවස්තාව ලැබුණත් රශ්මිකා විශේෂ වෙන්නේ එකම එක කරුණක් නිසා දෑතින් අකුරු කරන දහසක් ළමුන් අතරේ ඇයට අකුරු කරන්න ශක්තියක් වුණේ කකුලයි.. ඉතින් කාලයක් යද්දී ඇයට කකුලේ ආබාධයක් ඇති වෙනවා.. ඒත් දෙවිවරි වගේ වෛද්‍යවරුන් පිරිසක් ඇයට ඒ මොහොතේ ප්‍රතිකාර කරන්න මුණගැසෙනවා.. ඒ එක් අයෙක් ඇයව හඳුන්වන්නේ “Miracle Girl” යන නමින්.. කළ නොහැක්කක් නොමැති බව ඔප්පු කළ රශ්මිගේ කතාව අපිට මෙන්න මේ විදිහට අහන්න ලැබුණා…

“Miracle Girl” එහෙම කිව්වේ මට. මට එහෙම කිව්වේ, ඒ නම මට දුන්නේ ශල්‍ය වෛද්යවරයෙක්.

ඔයාට සල්ලි නැති එක, ආදරේ කරපු කෙනා දාලා ගිය එක, විභාගයක් ෆේල් උන එක තමයි මනුස්සයෙක්ට වෙන්න පුළුවන් නරක ම දේ කියලා ඔයා හිතනවා නම්, ඒ නිසා ඔයාගෙ මුළු ජීවිතේ ම ඉවරයි කියලා ඔයා හිතනවා නම් ඔයා වැරදියි. මොකද, හෙන ගැහුවත් දරගන්න මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. ජීවිතේ අඩියටම වැටුනත් වැටුනු තැනින් නැගිටලා ජීවිතේ දිනන මිනිස්සු ඉන්නවා. තමන්ට කාත් කවුරුත් නැති උනත් තමන්ව විශ්වාස කරලා මේ මහ පොළොවෙ හරි ලස්සනට පැළවෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමන්ට මොන දේ නොලැබුනත් ලැබුන දෙයින් සතුටු වෙලා ලෝකෙම දිනන්න උත්සාහ කරන මිනිස්සුත් ඉන්නවා. මාත් එයින් එක්කෙනෙක්.

” මං උසස් පෙළ ලිව්වේ 2021. විභාගෙට මාස කීපෙකට කලින් මට දරුණු කකුලේ කැක්කුමක් හැදෙනවා. මොකද මං අකුරු ලියන්නේ කකුලෙන් නිසා. අතින් අකුරු ලියන දාහක් මැද්දේ කකුලෙන් අකුරු ලියන එක ම කෙනා වෙන්න තරම් හයිය හිතක් මට තිබුණා. තියෙනවා.

මොන අපහසුතාවය තිබුණත් මං ඉගෙනීම අඩාල කලේ නෑ. කකුල රිදෙනවා, මට අමාරුයි කියලා ලියන එක නැවැත්තුවා නම්, මගේ හීන? මාව ලස්සනට ලෑස්ති කරවලා කවලා පොවලා ඉස්කෝලෙට ක්ලාස් එකට යවන මගෙ අම්මිගෙ හීන? ක්ලාස් ඉවර වෙනකම් උදේ 8 ඉදන් හවස 5 වෙනකම් ක්ලාස් එකෙන් එලියේ ඉදන් මං එනකම් බලන් ඉන්න මගෙ අප්පච්චිගෙ හීන? තමන්ගෙ වැඩත් කැප කරගෙන මට හයියක් වෙන මගෙ අක්කිගෙ හීන? ඒවා හීන ම විතරක් වෙන්න ඉඩ තිබ්බා. ඒ නිසා මට විවේක ගන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් විභාගෙට කලින් කකුල සනීප කරගත්තෙ නැත්තම් මට හරියට විභගෙ ලියන්න වෙන්නෙ නෑ. ඒ නිසා කකුලට ප්‍රතිකාර ගන්න ඩොක්ටර්ස්ලාව හොයාගෙන ගියා. ඒ අතරින් කෙනෙක් තමයි කලින් කිව්ව ශල්‍ය වෛද්යවරයා. ප්‍රතිකාර අරන් විභාගෙ ලියලා ප්‍රතිඵල ආවට පස්සේ ඒ A3 ක ප්‍රතිඵලයත් අරන් ඒ ආදරණීය ඩොක්ටර් ව බලන්න ගිය දවසේ ඩොක්ටර් මගෙ Phone number එක සේව් කරගත්තෙ “Miracle Girl” කියලා.

ඇත්ත. ජීවිතේ ආශ්චර්යයන්, හාස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ ආශ්චර්යයන්, හාස්කම් පිටිපස්සෙ තියන්නෙ අසීමිත දරාගැනීම්, අනේකවිධ දුක් ගැහැට, අප්‍රමාණ උත්සාහයන් සහ කැපකිරීම් ම පමණයි.

අඩන්න හේතු දාහක් හොයාගන්න පුළුවන්කම තිබිලත් ජීවිතේ අත් හරින්න හේතු හොයාගන්න පුළුවන්කම තිබිලත් අද මං කැළණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනගන්නේ මගෙයි මගේ ආදරණීය දෙමව්පියන් සහ සහෝදරියෙගේ අසීමිත කැපකිරීම්, දරාගැනීම් නිසා.

ඉතින්, ජීවිතේට කඩාවැටීම්, නොලැබීම්, ප්‍රශ්න, අභියෝග ලැබෙන්නෙ ඔයාට ජීවිතේ අත් හරින හැටිවත් පරාද වෙන හැටිවත් කියලා දෙන්න නෙමෙයි. හෙන ගැහුවත් හිනාවෙලා දරාගෙන ඉස්සරහට ම යන්න පුළුවන් ශක්තිමත් මනුස්සයෙක් වෙන හැටි කියලා දෙන්න.

ඔයාගෙ ජීවිතෙත් ඔයා නොහිතන ආශ්චර්යයන් සිද්ධ වෙයි. එතකල් ඔයාගෙ හීන වෙනුවෙන් වැඩ කරන්න.

මොකද, ගිනි කාශ්ටක ඉඩෝරෙත් පතොක් මල් පිපෙනවා.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *