Mon. Mar 17th, 2025

‘කෙළින්ම තීන්දුව විතරයි’ – ඩුබායි සිට ෆේස්බුක් සටහනක් – ලැයිස්තුවේ තවත් 4ක්..!

මිනුවන්ගොඩ ටොක්කා ඝාතනය ඩුබායි පැන්න කළුවාගේ කොන්ත්‍රාත්තුවක්
පාසල නිමවී සිය දරුවා රැගෙන ඒමට මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයට යමින් සිටි පියකුට ටී 56 අවියකින් වෙඩි තබා මහදවල් ඝාතනය කළේ ඩුබායි හි සැඟවී සිටින මධුසංක පුෂ්පලාල් හෙවත් ‘කළුවා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පාතාල කුලී ඝාතකයන් කණ්ඩායමකට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූයේ සජිත් උදයංග හෙවත් ‘ටොක්කා’ නමැති අයෙකි.

මෙම ඝාතනයට හේතු වී ඇත්තේ මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේදී මීට වසර එකහමාරකට පෙර ඇතිවූ ආරවුලක් බවද පොලිසිය පවසයි.

ඩුබායි හි සැඟවී සිටින කළුවා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම ආරවුල මුල්කරගෙන තවත් පුද්ගලයන් සිව් දෙනකු මෙසේ ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බවද මේ වනවිට අනාවරණය වී ඇත.

ඉකුත් 07 වැනිදා දහවල් මිනුවන්ගොඩදී මෙම ඝාතනය සිදු කිරීමෙන් පසුව කළුවා නමැත්තා ඩුබායි සිට සිය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝ පටයක් ප්‍රචාරය කර තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

එම හඬපටය හරහා කළුවා පවසන්නේ “කෙළින්ම තීන්දුව විතරයි, සිදුවීම අමතක කරන්න, සිදු කරන්නා අමතක නොකරන්න” යනුවෙන්ය.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මීට වසර එකහමාරකට පෙර මිනුවන්ගොඩ කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් තිබී ඇත.

එම සංගීත ප්‍රසංගය නැරඹීමට මේ වනවිට ඩුබායි හි සැඟවී සිටින මධුසංක පුෂ්පලාල් හෙවත් ‘කළුවා’ සිය මිතුරන් පිරිසක් සමග පැමිණ තිබේ.

පසුගිය 07 වැනිදා ඝාතනයට ලක්වූ ‘ටොක්කා’ නමැත්තා ද සිය මිතුරන් පිරිසක් සමග මෙම සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණ ඇත. බීමතින් නර්තනයේ යෙදී සිටියදී මෙම දෙපිරිස අතර ආරවුලක් හටගෙන තිබේ. එහිදී ‘ටොක්කා’ විසින් කළුවාට පහරදී ඇති අතර පසුව එය ඔවුන් අතර ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.

එම ගැටුම සමථයකට පත්වී දින කීපයකට පසු ටොක්කා ඇතුළු සගයන් විසින් මිනුවන්ගොඩ වෙල්යායකදී කළුවාට අමානුෂික ලෙස පහරදී ඔහුගේ කකුලක් ද කඩාදමා ඇත.

එම සිද්ධියෙන් කලකට පසු කළුවා ඩුබායි වෙත පලාගිය අතර එහි සිට ඔහු පාතාල කුලී ඝාතකයන් යොදාගෙන ‘ටොක්කා‘ ඇතුළු සගයන් ඝාතනය කිරීමට සැලසුම් කර තිබේ. එම ඝාතන ලැයිස්තුවේ මුල්ම සාමාජිකයා ලෙස ටොක්කා මරාදමා ඇති බවද විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මූලිකත්වයෙන් වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

හේමන්ත රන්දුණු

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *