Fri. Mar 14th, 2025

ලසන්ත ආටිකල් එක ලියන්නේ බ්‍රහස්පතින්දාට..නැතිකලෙත් එදා උදේමයි..! – බිරිඳ රේන් රටම දන්න නමක් කියයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිය වන රේන් වික්‍රමතුංග මහත්මිය මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටිමින්, සිය සැමියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලකරමින් සිටිනවා. මේ අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන සුදත්ත තිලක්සිරි, රේන් වික්‍රමරත්න මහත්මියව හමුවී ඇය සමග කෙටි සාකච්ඡාවක් සිදුකර තිබෙනවා. පහත පළවන්නේ Sudaa Studio යූටියුබ් නාලිකාවෙන් උපුටා ගත් එම සාකච්ඡාවයි.

ඔබ ඔස්ටේ්‍රලියාවට ආවේ කොයි කාලෙද?

ඒ කාලේ මගේ ළමයින්ට පොඩි තර්ජනයක් තිබුණා. ළමයි එතකොට ගොඩක් පොඩියි. ඒ නිසා ලසන්තයි මමයි ඒ කාලේ කල්පනා කළා එහෙ ඉන්න එක හොඳ නෑ, ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යන්න ඕනේ කියලා. ඒ අනුව අපි ඉල්ලුම් කළා. අපිට ඔස්ටේ්‍රලියාවට එන්න අවස්ථාව ලැබුණා. මමයි දරුවොයි මෙහෙ පදිංචියට ආවා. ලසන්තත් ඇවිල්ලා ආපහු ගියා. ලසන්ත ඝාතනය වුණේ දුවත් එක්ක ලංකාවේ ඉන්නකොට.

ඒ සිද්ධිය වෙච්ච දවසේ ලසන්ත යන්න සූදානම් වෙද්දී දුව ලසන්තව බදාගෙන කිස් එකකුත් දීලා ‘අනේ තාත්තා මට බයයි… යන්න එපා…’ කියලා තියෙනවා. එයාට හිතිලා තියෙනවා තාත්තට කරදරයක් වෙයි කියලා. ඊට පැය දෙකකට විතර පස්සේ ටීවී එකෙන් තමයි දුව දැකලා තියෙන්නේ තාත්තව ඝාතනය කරලා කියන ප්‍රවෘත්තිය. ඒත් එක්කම දුව බිම ඇදගෙන වැටිලා තියෙනවා. ඒ සිදුවීමෙන් පස්සේ අපි ලසන්තගේ අවසන් කටයුතු කරලා ඔස්ටේ්‍රලියාවට ආවා. දැන් දරුවෝ තුන්දෙනත් එක්ක මම මෙහේ පදිංචි වෙලා ඉන්නවා.

ඔබේ සැමියා වන ලසන්ත වික්‍රමතුංගට වෙඩි තියන්න ඕඩර් එක දුන්නේ කවුරු කියලද ඔබ හිතන්නේ?

ඒ ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑ. රටම දන්න කියන කෙනෙක් තමයි ඒ ඕඩර් එක දුන්නේ.

ලසන්ත වික්‍රමතුංග රාජපක්ෂලා එක්ක ළඟින් ඇසුරු කරපු කෙනෙක්. ඒ සම්බන්ධතාව තියාගෙන තමයි මේගොල්ලෝ මේ ගේම් එක දුන්නේ කියලා අපිට හිතෙන්නේ?

හැමෝම එක්ක නෙවෙයි, මහින්දත් එක්ක හුඟක් සමීපව හිටියා. හැබැයි පස්සේ ඒ දෙන්නා ගැටෙන්න පටන් ගත්තා. 2009 ලසන්ත ගොඩක් අයට කියලා තිබුණා කිලිනොච්චිය යුද හමුදාව විසින් යටත් කරගත්තාම තමයි මාව මරන්නේ කියලා. මොකද එයා දැනගෙන හිටියා යුද්ධය ජයග්‍රහණය කරා යන අතරතුරේදී එයාව ඝාතනය කළාම ඒක එච්චර රටට හයිලයිට් වෙන්නේ නෑ කියලා. හැබැයි ඊට කලින් ලසන්ත මට ඊමේල් එකක ලියලා එවලා තිබුණා, මහින්ද එයාට පණිවුඩ එවනවා කියලා ආයෙත් ඇවිල්ලා එයාව මුණගැහෙන්න කියලා. නමුත් ලසන්ත කිව්වා මහින්ද එහෙම එයාට එන්න කියන්නේ, එයාව මරලා, පස්සේ කියන්න පුළුවන්නේ, මගේ යාළුවනේ, මම මරන්නේ නෑනේ එයාව කියලා කියන්න වෙන්න ඇති කියලා. ඒත් එයා ගිහින් මහින්දව ආයෙත් මුණගැහුණා. ඒ අතරතුරේ තමයි මේ සිද්ධිය වුණේ. ඒ කාලේ වෙද්දී මිග් ගනුදෙනුව ගැන ලසන්ත ලියපු එක උසාවියට ගිහිල්ලා නියෝගයක් දුන්නේ ගෝඨාභය ගැන කිසිම දෙයක් සන්ඩේ ලීඩර් එකේ ආයෙත් ලියන්න එපා කියලා.

ඒත් ලසන්ත දිගටම ලිව්වා නේද?

ලිව්වා. වෙනත් නමකින් තමයි ලිව්වේ.

ලසන්තව ඝාතනය කරන්න බලපෑ හෙළිදරව්ව මොකක්ද?

මිග් ගනුදෙනුව තමයි වැඩියෙන්ම බලපෑවේ. හැබැයි ලසන්ත කාලෙක ඉඳලා ඒගොල්ලන්ගේ අයථා වැඩ ගැන පත්තරේට ලිව්වා. මහින්ද ලසන්ත එක්ක මුලින්ම තරහා වුණෙත් හෙල්පින් හම්බන්තොට සිද්ධිය නිසානේ. නැත්නම් මහින්ද ලසන්ත එක්ක ගොඩක් යාළුයි. ඒ සිද්ධියෙන් පස්සේ තමයි මහින්ද තරහා වුණේ. ඊට පස්සේ දිගින් දිගටම ලසන්ත ඒගොල්ලන්ගේ අයථා වැඩ ගැන පත්තරේට ලිවීමත් එක්ක තමයි එයාව මරන්න ඕනේ කියලා හිතන්න ඇත්තේ. ලසන්ත ඝාතනය වෙච්ච සතියේ එයා පළකරන්න හිටියේ මිග් යානා ගනුදෙනුව ගැන ලොකු හෙළිදරව්වක් කියලා ගොඩක් අය කියනවා. ලසන්ත ගාව ඊට අදාළ ලිපි පවා තිබුණා කියලා.

සාමාන්‍යයෙන් ලසන්ත එයාගේ ‘සුරනිමල’ කොලම් එක ලියන්නේ බ්‍රහස්පතින්දට. එයාව මැරුවෙත් බ්‍රහස්පතින්දා උදේ.

ඔබේ දුව ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නඩුවක් පැවරුවා නේද? ඒකට මොකද වුණේ?
ඒක නැවත කැඳවන්න පුළුවන් ඉදිරියේදී. ඒවට බයේ තමයි ගෝඨාභය ඉන්නේ.

ඔබ සොබාදහමෙන් ඉල්ලන්නේ මොකක්ද මේ ඝාතනය සම්බන්ධයෙන්?

කර්මය කියලා දෙයක් තියෙනවා කියලා අපි හැමෝම විශ්වාස කරනවා. මට හිතන්නත් බයයි මේකට වගකිව යුතු අයට මොන වගේ අපායකට යන්න වෙයිද කියලා. අපිට බයයි නරක සිතුවිල්ලක්වත් හිතන්න. බුද්ධාගමට අනුව නරක සිතුවිල්ලක්වත් තියාගන්න අපිට බයයි. ඉතින් මේගොල්ලෝ උදේ ඉඳන් රෑ වෙනකල් ද්වේශය වපුරමින්නේ හිටියේ. පන්සිල්වලින් ගොඩක් ඒවා ඒ අය අතින් කැඩිලානේ. මිනිස්සු මරන ඒවා, හොරකම් කරන ඒවා. තව මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මට බයයි මේගොල්ලෝ ගැන හිතනකොටත් මේගොල්ලන්ගේ ඊළඟ ආත්මය මොන වගේ වෙයිද කියලා.

Sudaa Studio යූටියුබ් නාලිකාවෙනි
උපුටා ගැනීම : මව්රට

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *