Tue. Mar 11th, 2025

සතුන් දඩයම් කළ පේරාදෙණියේ මහ කල්ලියක් පොලීසියට කොටු වෙයි

සතුන් දඩයම් කළ සැකකරුවන් හයදෙනකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඊයේ (09) අළුයම සතුන් දඩයම් කිරීම සඳහා යහලතැන්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඒ සම්බන්ධව පොලීසියට දැනුම්ද දී ඇත.

ඒ අනුව, පේරාදෙණිය පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි නිළධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී වෙඩි තබා මරණ ලද ඌරෙකු සහ සතුන් දඩයම් කිරීමට ජිප් රථයකින් පැමිණ සිටි පුද්ගලයින් හයදෙනෙකු සිට ඇත.

ඒ අනුව එම සැකකරුවන් හයදෙනා ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 පතරොම් 03ක්, එම හිස්කොපු 03ක්, පොරවක්, අත්පොරවක් ඩ්‍රැගන් ලයිට් 02ක් හා පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28ත් 71ත් අතර වයස්වල පසුවන මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී යහලතැන්න ප්‍රදේශයේ මාර්ගය අයිනේ කැලෑබද ස්ථානයක රඳවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් සොයා ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පේරාදෙණිය පොලිස් ස්ථානය මගින් මාවතගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මාවතගම පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් ඉහත එක් සැකකරුවෙකු පදිංචිව සිටින මාවතගම කොටිකාපල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කර ඇති අතර එම නිවසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි 04ක්, එම පතරොම්, රිවොල්වර් අවියක්, අත්පොරවල් 03ක්, යුද හමුදා ඇදුමට සමාන ඇඳුම් කට්ටලයක්, විග් එකක්, අත්විලංගු ජෝඩු 02ක් හා වායු පිස්තෝලයක් ඇතුලු දෑ සොයා ගෙන ඇත.

පේරාදෙණිය පොලීසිය හා මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *