Fri. Mar 14th, 2025

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ – රනිල්ව කොටු කරන්න යන හැටි මෙන්න..!

පැවති රජයන්හි ප්‍රතිපත්තිමය තීරණයකට අනුව දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කළ අතර, එය කඩිනමින් නීතිපතිවරයා වෙත යොමු කිරීමටත්, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත්, සුදුසු අවස්ථාවක පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත් රජය තීරණය කර ඇති බව ඔහු පැවසීය.

මෙම කාරනා මතුවන්නේ පසුගියදා අල්ජසීරා නාලිකාවේ ඇසූ ප්‍රශ්නයකට රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරක් නිසාය . ඔහු නිවේදක හසන්ට මෙම වාර්තාවේ වලංගු භාවයක් නැතැයි කියා සිටියේ වාර්තාව මෙරට පාර්ලිමේන්තුවේ සභාගත කළ එකක් නොවන බව තර්ක කරමිනි. නමුත් දැන් එය සිදුව තිබේ.

වාර්තාවේ පසුබිම

1988-1990 කාලවකවානුවේදී බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිතව සිදු වූ බවට චෝදනා ලැබූ නීතිවිරෝධී මිනී මැරුම්, කෲර වධ හිංසාවට ලක් කිරීම් සහ අනීතික රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම වාර්තාව සකස් කරන ලදී.

1994 දී “දුෂණයට, භීෂණයට එරෙහිව” යන මැතිවරණ පාඨය යටතේ බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ එක් ප්‍රධාන පොරොන්දුවක් වූයේ පෙර පැවති එක්සත් ජාතික පක්ෂ රජය විසින් සිදුකරන ලද බවට චෝදනා ලැබූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමයි. ඒ අනුව, බටලන්ද වධකාගාරය සහ සූරියකන්ද ගැන විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරිණි.

කොමිෂන් සභාව පළමුව 1995 සැප්තැම්බර් 20 වන දිනට වාර්තාව නිම කිරීමට නියමිතව තිබුණත්, දොළොස් වතාවක් පමණ කල් දැමීමෙන් පසුව අවසාන වාර්තාව 1998 මැයි 05 වන දින ජනාධිපතිනියට භාරදෙන ලදී. කොමිෂන් සභාවේ සියලු ලිඛිත වාර්තා වෙළුම් 28කින් සමන්විත වන අතර පිටු 6,780ක් දක්වා විස්තර සහිතව තිබුණි.

 

බටලන්ද නිවාස යෝජනා ක්‍රමය සහ එහි භූමිකාව

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ පිහිටි බටලන්ද නිවාස යෝජනා ක්‍රමය රාජ්‍ය පොහොර සංස්ථාවට අයත් වූ අතර, නිවාස ඒකක 64කින් සමන්විත විය. මෙම නිවාස ප්‍රමාණය සහ පහසුකම් අනුව A, B සහ C ලෙස වර්ගීකරණය කරන ලදී.

කොමිසමේ වාර්තාවට අනුව, එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ, පොහොර සංස්ථාවේ ඈවරකරු වූ අසෝක සේනානායක දුරකථන මගින් අමතා පොලිස් නිලධාරීන්ට නිවාස කිහිපයක් වෙන් කරන ලෙස ඉල්ලා ඇත. මෙම නිවාස නිලධාරීන්ට ලබාදීම පිළිබඳව කිසිදු ගිවිසුමක් අත්සන් කර නොතිබූ අතර, එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා විසින් මෙය “ඩග්ලස් පීරිස් මහතා, සංස්ථාවේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යවරයා අතර පෞද්ගලික ගනුදෙනුවක්” ලෙස හැඳින්වා ඇත.

නිවාස අංක A 2/2 යන ස්ථානය 1983 මාර්තු 02 සිට 1994 අගෝස්තු දක්වා රනිල් වික්‍රමසිංහ විසින් යෞවන කටයුතු සහ රැකීරක්ෂා අමාත්‍යවරයාගේ සංචාරක බංගලාව සහ කර්මාන්ත අමාත්‍යවරයාගේ නිල නිවාස ලෙස භාවිත කරන ලදී.

වධහිංසා සඳහා භාවිත කළ නිවාස

කොමිෂන් වාර්තාවට අනුව පුද්ගලයින් නීති විරෝධීව රඳවා තබා වධ දීමට භාවිත කළ නිවාස පහත පරිදි හඳුනාගෙන තිබේ:

1. B 2 නිවස – 1989 සිට 1994 අගෝස්තු දක්වා රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය ලෙස භාවිත කර ඇති අතර, ටී.එම්. බන්දුල නම් සාක්ෂිකරුවෙකු විසින් මෙම ස්ථානයේ තමාව බලහත්කාරයෙන් රඳවා ගත් බව කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත.

2. B 1 නිවස – රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරීන් රැඳී සිටි ස්ථානයකි.

3. B 7 නිවස – රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් පරීක්ෂක සුදත් චන්ද්‍රසේකර රැඳී සිටි ස්ථානයකි.

4. B 8 නිවස – සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ගේ ආරක්ෂක නිලධාරීන් රැඳී සිටි ස්ථානය, අර්ල් සුගී පෙරේරා නම් සාක්ෂිකරුවකු විසින් මෙය තමාව වධහිංසාවට ලක් කළ ස්ථානය ලෙස හඳුනාගෙන ඇත.

5. B 34 නිවස – සපුගස්කන්ද පොලිසියට පවරා දී ඇති, වාසල ජයසේකර නම් සාක්ෂිකරුවකු විසින් තමා රඳවා තැබූ ස්ථානය ලෙස හඳුනාගෙන ඇත.

6. A 1/8 නිවස – කිසිවෙකුට පවරා දී නොතිබුණද, පොලිස් නිලධාරීන් නිතර ගැවසුණු ස්ථානයක් ලෙස වාර්තා වී ඇති අතර, අජිත් ජයසිංහ නම් සාක්ෂිකරුවකු ඔහුව බලහත්කාරයෙන් රඳවා තැබූ ස්ථානය ලෙස හඳුනාගෙන ඇත.

රනිල් වික්‍රමසිංහගේ භූමිකාව සහ සාක්ෂි

කොමිසම ඉදිරියේ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, පොලිස් නිලධාරීන්ට නිවාස ලබාදීම ඝාතනයට ලක් වූ හිටපු ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නගේ ඉල්ලීමක් මත සිදු කළ බවයි. කෙසේ වෙතත්, ඔහුට ඒ සඳහා කිසිදු වලංගු ලේඛනගත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා කොමිසම එම ප්‍රකාශය පිළිගෙන නොමැත.

B 2 නිවසේ තමාව වධහිංසාවට ලක් කළ බවට ටී.එම්. බන්දුල කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, ඔහු මෙම නිවස විවිධ කටයුතු සඳහා භාවිත කළ බැවින් එවැන්නක් සිදුවූයේ නම් තමා දැන සිටිය යුතු බවයි. කෙසේ වෙතත්, සියලු සාක්ෂි සැලකිල්ලට ගත් කොමිසම තීරණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ “අඩුම තරමින්” B 2 නිවස නීති විරෝධී කටයුතු සඳහා භාවිත කරන ලද බව දැන සිටි බවයි.

 

බටලන්දේ පැවති රැස්වීම්

කොමිෂන් සභාවේ විමර්ශන අතරතුර මෙම නිවාස සංකීර්ණයේ විශේෂ රැස්වීම් පවත්වා ඇති බව තහවුරු විය. මෙම රැස්වීම්වල මුලසුන ගෙන ඇත්තේ එවකට ආරක්ෂක ඇමති හෝ ආරක්ෂක රාජ්‍ය ඇමති නොව, කර්මාන්ත ඇමති රනිල් වික්‍රමසිංහ විසින් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ සාක්ෂි දී ඇත.

රනිල් වික්‍රමසිංහ එම රැස්වීම්වලදී පොලිස් නිලධාරීන්ට “දේශපාලන නායකත්වයක්” සැපයූ බව දෙල්ගොඩ ප්‍රකාශ කර ඇති අතර, මෙම රැස්වීම් “කඩාකප්පල්කාරීන් මර්දනය කරලීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග” සාකච්ඡා කිරීම සඳහා පවත්වා ඇති බවද පැවසීය. මෙම රැස්වීම් සඳහා එවකට නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ද සහභාගි වී ඇත.

නීතිඥ විජයදාස ලියනආරච්චිගේ ඝාතනය

වාර්තාවේ වැදගත් කොටසක් වන්නේ 1988 අගෝස්තු 25 වන දින අතුරුදහන් වූ නීතිඥ විජයදාස ලියනආරච්චිගේ ඝාතනය පිළිබඳ විස්තරයයි. කොමිසමේ වාර්තාවට අනුව, හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරාගේ සාක්ෂියේ සඳහන් වන්නේ, 1988 අගෝස්තු 31 දින රනිල් වික්‍රමසිංහ ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී නීතිඥ ලියනආරච්චි කොළඹට ගෙනවිත් “කැළණි කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමට” භාරදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති බවයි.

පසුව නීතිඥ ලියනආරච්චි 1988 සැප්තැම්බර් 02 දින බරපතල තුවාල සහිතව කොළඹ මහරෝහලට ඇතුළත් කරන ලද අතර, මධ්‍යම රාත්‍රියේදී ඔහු මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අනුව ඔහුගේ මරණයට හේතුව “මොට ආයුධවලින් සිදුකෙරුණු පහරදීම්” බව හඳුනාගෙන ඇති අතර, ඔහුගේ ශරීරයේ තුවාල 207ක් පැවති බවද පෙන්වා දී ඇත.

 

කොමිසමේ නිගමන

1988 ජනවාරි 01 සිට 1990 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ සිදු වූ නීති විරෝධී රඳවා තැබීම් සහ වධහිංසා පිළිබඳව අනියමින් හෝ සෘජුව වගකිව යුතු පුද්ගලයින් පහත පරිදි කොමිසම විසින් හඳුනාගෙන ඇත:

1. එවකට කර්මාන්ත අමාත්‍ය රනිල් වික්‍රමසිංහ – බටලන්ද නිවාස පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියම කිරීම, අමාත්‍ය ධුරයේ බලතල අයුතු ලෙස භාවිත කිරීම, B 2, B 8, B 34 හා A 1/8 යන ස්ථානවල නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පැවැත්වීමට අනියමින් වගකීම.

2. සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් – නිවාස 13ක් ලබාගැනීමට වගකීම.

3. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ – නිවාස ලබාගැනීම පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසිවලට පටහැනි බව දැනදැනත් ක්‍රියාමාර්ග නොගැනීම.

4. එවකට නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න සහ පොලිස්පති අර්නස්ට් පෙරේරා – නීතිවිරෝධී ක්‍රියා දැනගෙන ඒවාට සුදුසු පියවර නොගැනීම.

කොමිසමේ නිර්දේශ

මෙම ජනාධිපති කොමිෂන් සභාව විසින් කර ඇති ප්‍රධාන නිර්දේශයක් වන්නේ “පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිට ම උල්ලංඝණය කර ඇති හඳුනාගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැනවීමට අවශ්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම”යි.

තවද, අදාළ අධිකරණවලට නීතිවිරෝධී ක්‍රියා සිදුවන ස්ථානවලට ගොස් පරීක්ෂණ පැවැත්වීමේ බලය ලබාදීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ අවශ්‍ය වෙනස්කම් සඳහා කමිටුවක් පත් කිරීමටද නිර්දේශ කර ඇත.

මෙම වාර්තාව දැන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිපතිවරයා වෙත යොමු කිරීමටත්, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කිරීම බටලන්දේ සිදුවූ බවට චෝදනා ලැබූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ගත් ප්‍රධාන පියවරක් ලෙස සැලකිය හැකිය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *