අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නේවාසිකාගාරයේදී වෛද්‍යවරියක දූෂණයට ලක් වූ බරපතල සිද්ධිය අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඊයේ (13 වැනිදා) වාර්තා කර ඇත.
පොලිස් වාර්තා අනුව, ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන, අවිවාහක හා වයස අවුරුදු 32ක් වන මෙම වෛද්‍යවරිය, සිය පැමිණිල්ලේ විස්තරාත්මකව සිදුවීම පැහැදිලි කර ඇත.
”මම පසුගිය 10 වැනිදා සවස 03.30ට රාජකාරි අවසන් කරලා වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා. පසුව ත්‍රිරෝද රථයකින් රුවන්වැලි සෑයට ගිහින් වැඳපුදාගත්තා. ඊට පස්සේ ත්‍රිරෝද රථයකින්ම සවස 06.30ට විතර වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා.
ඇවිත් කාමරයට ඇතුළුවීමට දොර අරින අවස්ථාවේ මාගේ පිටුපසින් කිසිවකු සිටින බව දැනිලා මම පිටුපස්සට හැරුණා. ඒ වෙලාවේදී මගේ කාමරයට ඉස්සරහ කාමරයේ දොරට හේත්තු වී සිටි පුද්ගලයකු මගේ බෙල්ලට පිහියක් තියලා මගේ කට ඔහුගේ අතින් වහගෙන කෑ ගහන්න එපා දොර අරින්න කිව්වා. බියට පත්වූ මා දොර විවෘත කළා.”
යනුවෙන් වෛද්‍යවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
අනුරාධපුර මූලස්ථාන පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ 737/2025 අංක දරන බී වාර්තාවට අනුව, දූෂණයට ලක් වූ වෛද්‍යවරිය සැකකරු විස්තරාත්මකව හඳුනාගෙන ඇත. ඔහු අඩි 5යි අඟල් 8ක් පමණ උස, කමිසයක් නොමැතිව සිටි, තලෙළු, කෙට්ටු, කොණ්ඩය කොටට කපා ඇති, අපිළිවෙළට හා අපිරිසිදුව සිටි, වයස අවුරුදු 30ක් 35ක් පමණ වන පුද්ගලයකු බව ඇය විසින් විස්තර කර ඇත.
පැමිණිල්ලට අනුව, සැකකරු: “මම ආමි එකෙන් පැනලා ඉන්නේ. පොලිසියෙන් හොයනවා. මම ටිකක් වෙලා ඉඳලා යනවා. සද්ද දාන්න එපා. සද්ද දැම්මොත් බෙල්ල කපනවා. මට ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
වෛද්‍යවරිය තවදුරටත් පවසා ඇත්තේ, එම අවස්ථාවේදී එම පුද්ගලයා අත තිබූ පිහියෙන් තමා එම පුද්ගලයාට ඇනීමට උත්සහ කළ බවත් එම අවස්ථාවේ එම පිහියට තමාගේ අතක් කැපුණු බවත්ය. එම අවස්ථාවේ ඔහු විසින් තමාව මරා දමනු ඇතැයි යන බියෙන්, ඔහු කී සියලු දේවල්වලට එකඟවීමට තමාට සිදුවූ බවද ඇය සඳහන් කර ඇත.
සැකකරු ඇයගේ අත් හා පා බැඳ සෙලවෙන්නට බැරි ලෙස සිරකර අතවරය සිදුකළ බව ඇය සඳහන් කර ඇත. එම අවස්ථාවේ ඇගේ නිරුවත් ඡායාරූප පවා ඔහු ලබාගෙන ඇත.
මෙම අපරාධය සිදු කළ පසු සැකකරු තමා සතුව තිබූ එක් දුරකථනයක් රැගෙන: “මම ෆෝන් එක ගෙනියනවා. ආයෙත් හම්බ වෙයි කියලා හිතන්න එපා. මම සේරම ෆෝටෝ ගත්තා.
එළියට ගිහින් කිව්වොත් ඔයාටමයි ප්‍රශ්නයක් වෙන්නේ. කාටවත් කියන්න එපා. මම කරපු දේට මට සමාවෙන්න” යනුවෙන් පවසා ඇති බවද වෛද්‍යවරියගේ ප්‍රකාශයේ සඳහන් වේ.
වෛද්‍යවරිය වැඩිදුරටත් විස්තර කර ඇත්තේ, සැකකරු පිටව ගොස් විනාඩි පහකට පසුව, අත් දෙකින් හා කකුල් දෙකෙන් බැඳ තිබූ බැමි තමා විසින්ම ලිහාගෙන පරීක්ෂා කළ විට, දොර වසා තිබූ බවත්, ජනේලයක් විවෘතව තිබූ බවත්ය.
සිදුවීමෙන් පසුව, ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් තමා සේවය කරන වාට්ටුවේ සිටි වෛද්‍යවරයාට මෙම සිද්ධිය දැනුම් දී, පසුව එම වෛද්‍යවරයාගේ දුරකථනයෙන් සිය පියාට හා වෙනත් රෝහලක සේවය කරන වෛද්‍යවරයකු වන තම සමීපතම මිතුරාට ද දැනුම් දී ඇත.
තමාට මෙම අපරාධය සිදු කළ පුද්ගලයා නැවත දුටුවහොත් හඳුනා ගැනීමට හැකි බවද වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇත.
අධිකරණය විසින් අනුරාධපුර පොලිසියට නියෝග කර ඇත්තේ, මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ ඍජු අධීක්ෂණය යටතේ, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.කේ. ජයවීරගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක නිශානි සෙනවිරත්නගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරික්ෂක ඒ.සී. දයානන්ද සහ සැරයන් රංජිත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදු කරමින් සිටී.
රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව තර දැඩි කිරීමට සහ මෙවැනි සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරු රැගෙන ගිය දුරකථනයද සැකකරුගේ සොයුරියට ලබාදී තිබී හසුවිය. සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවේ පසුවන අතර වැඩිදුර සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
Source : Hiru news