නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති දැනට දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටින මහින්ද දොඩම්පගමගේ මහතාට යලිත් දේශපාලනයට පිවිස පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය මහ නගර සභාවට තරග කරන ලෙස බල කරමින් නුවරඑලිය මහ නගර සීමාවේ පදිංචි ඡන්ද දායකයින් පිරිසක් (14) දින උද්ගෝෂණයක නිරත විය.
මහින්ද දොඩම්පගමගේ මහතාගේ නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලය ඉදිරිපිටට පැමිණි සර්ව ආගමික නායකයින්, ඡන්ද දායකයින් හිටපු නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ දියුණු කල හැකි එකම පුද්ගලයා මහින්ද දොඩම්පගමගේ මහතා බවත්, එතුමන් නුවරඑලිය නගර සභාවේ හිටපු නගරාධිපති වශයෙන් කටයුතු කල සමයේ නුවරඑලිය නගරයේ සංවර්ධන කටයුතු රාශියක් සිදු කල බවයි.
දේශපාලනයෙන් සමුගෙන නිහඩව සිටිමෙන් නුවරඑලිය නගරය තව දුරටත් අගාධයට පත්වන නිසා කුමන දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීනව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා වීමට යලිත් තරග කරන ලෙසයි.
මෙහිදි උද්ගෝෂකයන් හමුවේ නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පගමගේ මහතා කියා සිටියේ තමන් යලිත් දේශපාලන කටයුතුවල නියැලීමට කිසිදු අදහසක් නොමැති බවත්, ඡන්ද දායකයන්ගෙන් ලැබුනු ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කර ඉදිරියේදි ප්‍රකාශ කරන බවයි.
– රංජිත් රාජපක්ෂ