Sat. Mar 15th, 2025

ප්‍රේක්ෂකයින් මාව ප්‍රතික්ෂේප කරපු දවසට මම රඟපෑමෙන් සමු ගන්නවා – රිදී තිරයේ අහිංසකයා මායාවී නාට්‍යයේ සංකල්ප කියන මේ කතාව ඇහුවද ?

චානුක ප්‍රබුද්ධ කියන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙද්දී පුංචි තිරයේ සහ සිනමාවේ සිය හැකියාවන් පෙන්නුම් කරමින් සාර්ථක ගමනක් යන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්. මේ දිනවල පුංචි තිරය ඔස්සේ විවිධ භූමිකාවන් තුළින් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන චරිතයක්. ඒ නිසාම අපි චානුක ප්‍රබුද්ධව රසදුන කතාබහකට එකතු කර ගත්තා….

මේ දවස්වල සෑහෙන කාර්යබහුලයි නේද?

ඇත්තෙන්ම කාර්යබහුල කාලයක්. ටෙලි නාට්‍යය හතරක් විකාශය වෙනවා. ඒ ඒ නිර්මාණ වල රූගත කිරීම් සිදුවෙනවා. ඒ නිසා වෙහෙසකාරී වගේම කාර්යබහුල කාලයක්.

අපි නාට්‍යය හතර ගැන සහ චරිත හතර ගැන මතක් කරමු..

සිරස නාළිකාවේ විකාශය වන මායාවී නාට්‍යයේ සංකල්ප ස්වාධීන රූපවාහිනී සේවයේ විසේකාරී නාට්‍යයේ එරාන්ගේ චරිතය. ස්වර්ණවාහිනියේ විකාශය වන සින්ටෝ නාට්‍යයේ ප්‍රභූගේ චරිතය, හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ මතීෂගේ චරිතය. ඒ නාට්‍ය අතරින් වැඩයෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ මායාවි නාට්‍යයේ සංකල්පට. මායාවී නාට්‍යයේ සංකල්ප කියන චරිතය ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිතයක්. ඒ එක්කම මමත් ඉතාම ආසාවෙන් රඟපාන චරිතයක් සංකල්ප කියන්නේ.

සංකල්ප කියන චරිතය චානුක ප්‍රබුද්ධට සමානම චරිතයක් ද?

මගෙනුත් බොහෝ දෙනෙක් අහනවා ඔය ගැන. සංකල්පගේ සමහර චරිත ලක්ෂණ මටත් තියෙනවා. එහෙම නැත්නම් මේ තරම් සාර්ථකව කර ගන්න පුළුවන්කමක් නැහැ. සංකල්ප තුළ තියෙන ඒ ආදරණීය බව මගේ පෞද්ගලික ජීවිතෙත් තියෙනවා. බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ මහේෂ් රත්සර මද්දුමආරච්චි සහ ශාන්ත සොයියා මහතාව. ඔවුන් දෙදෙනා තමයි මගේ මැවුම්කරු. මම අද රංගන ශිල්පියෙක් වෙලා ඉන්නවා නම් ඒ දෙන්නා නිසා තමයි. මායාවී නාට්‍යයේ 100වෙනි කොටස විකාශය වුණාම ප්‍රේක්ෂකයින්ගෙන් ලොකු ආදරයක් ලැබුණා. එදා මට මහේෂ් රත්සර මද්දුමආරච්චි මහතාගෙන් කෙටි පණිවිඩයක් ආවා. එකේ තිබ්බේ “ඔන්න මම ආයෙමත් උඹව ආයෙමත් අරගෙන ආවා කියලා.” ඒක තමයි ඇත්ත. කාලයක් තිබ්බා මට වැඩ නැති සහ කරන වැඩ සාර්ථක නොවෙන. හැබැයි මම ඒකටත් කැමතියි. එහෙම වෙන්න ඕනේ. පසුබැසීම් පරාජ වීම් තියෙන්න ඕනේ අපිව ශක්තිමත් වෙන්න. මම ඒ හැමදේම දරාගෙන ආව කෙනෙක්. ඒ නිසා මේ ජනප්‍රියත්වය තිබුණත් එකයි, නැතත් එකයි. මට මම වෙලා ජීවත් වෙන්න පුළුවන් කියන එක මම දන්නවා.

චරිත තෝරා ගනිද්දී මොන වගේ තේරීම් ද කරන්නේ?

මම කැමතියි කමර්ෂල් ටෙලි නාට්‍යය නැතුව, කොටස් 60ක වගේ ටිකක් සීමිත කොටස් ගණනක් තියෙන නාට්‍යය රඟපාන්න. මේ දිනවල මම එකක් කරනවා චාරුක දිල්හාරගේ. ඒක ඉස්සරහට බලාගන්න ලැබෙයි. මම කැමතියි අභියෝගාත්මක චරිත කරන්න. මට ඕනේ චරිතාංග නළුවෙක් වෙන්න. ඒ නිසා මට ප්‍රධාන චරිතයක්ම වෙන්න ඕනේ නැහැ. චරිතේ දිග පළල නෙවෙයි මම බලන්නේ, මට ඒ චරිතය තුළ කරන්න තියෙන දේ.

රංගනය නිසා දැන් නිරූපණ කටයුතුවලින් බැහැර වෙලාද?

සියයට සීයක්ම බැහැර වෙලා නැහැ. තෝරා බේරාගැනීම් ඇතුව තමයි නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ. මේ කාලයේ නාට්‍යය එක්ක කාර්යබහුල වීම නිසාම කාලය කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා හොඳ කටයුත්තකට ඇරයුම් ලැබුණොත් මම අනිවාර්යෙන්ම නිරූපණ කටයුතුවලට දායක වෙනවා.

ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?

ඒ ලබන ආදරේ ගැන නිහතමානීවම මම ආඩම්බර වෙනවා. අද මම විඳින්නේ සෑහෙන කාලයක් තිස්සේ හෙමින් ආව ගමනක ප්‍රතිඵලයක්. මම රඟපෑ පළමු නාට්‍යයෙන්ම ප්‍රේක්ෂක ආදරේ ලැබුණේ නැහැ. මේ වෙද්දී මම ටෙලි නාට්‍යය ගණනාවක ඉඳලා තමයි මේ ප්‍රේක්ෂක ආදරේ ලබන්නේ. ඒ තුළ තියෙන්නේ කැපවීම සහ උත්සාහය. ගොඩක් බිඳවැටීම් එක්ක ශක්තිමත්ව ආව ගමනක් මට තියෙන්නේ. මේ ආදරේ තමයි මම හෙව්වේ. මම රඟපාන්නේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන්. කවුරු හරි මගෙන් ඇහුවොත් කවදද රංගනයෙන් සමුගන්නේ කියලා, මගේ උත්තරය තමයි ප්‍රේක්ෂකයින් මාව ප්‍රතික්ෂේප කරපු දවසට මම රඟපෑමෙන් සමු ගන්නවා.

සිනමාවට ලැබුණු ඇරයුම් ගැන තෘප්තිමත් ද?

මේ මොහොතේ ඉතාමත් හොඳ සිනමා නිර්මාණවලට ඇරයුම් ලැබිලා තියෙනවා. හැබැයි හැමදේම භාර ගන්නේ නැතුව තෝරා බේරාගැනීම් එක්ක තමයි මම නිර්මාණ කරන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මෑතක තිරගත වුණු ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා චිත්‍රපටය. ඒ තමයි මගේ පළමු සිනමා නිර්මාණය. ප්‍රියන්ත කොළඹගේ මහතාව ආදරෙන් මතක් කරනවා වගේම ස්තුතිවන්ත වෙනවා මාව රිදී තිරයට අරගෙන ආව එකට. මගේ ජීවිතේ හැමදේම පටන් ගන්නේ හෙමින්. සිනමාවත් එහෙමයි. මම හදිසි ගමනක් යන කෙනෙක් නෙවෙයි.

ඉදිරියේදී සිනමාවට වැඩි ඉඩක් දෙයි ද?

මම ආවේ පුංචි තිරයෙන්. ඒ නිසා කවදාවත් මුල අමතක කරන්නේ නැහැ. මාව ප්‍රේක්ෂකයින් හඳුනා ගත්තේ ටෙලි නාට්‍යය නළුවෙක් විදියට. ඒ නිසා සිනමාවට ආදරෙයි වගේම ටෙලි නාට්‍යය කලාවටත් ආදරෙයි. මම කවදාවත් සිනමාව නිසා ටෙලි නාට්‍යය කලාව අත හරින්නේ නැහැ. සිනමා නළුවෙක්ද ටෙලි නාට්‍යය නළුවෙක්ද කියන එක නෙවෙයි මට වැදගත්. මම රඟපාන්නේ කැමරාව ඉස්සරහ විතරයි.

අක්කලා දෙන්නෙක් එක්ක හැදුනු කෙනෙක් ඔබ, ඒ අය දැන් ඔබ ඉන්න තැන ගැන මොකද කියන්නේ

ලොකු අක්කා ඉන්නේ විදෙස්ගතව ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා. පොඩි අක්කා දැන් ලංකාවේ මා එක්ක ඉන්නවා. ලෝකේ කොහේ හිටියත් අපි තුන්දෙනා හරිම එකමුතුයි.

වැඩියෙන්ම චානුකට සමීප කවුද?

ලොක්කිට වඩා කොහොමත් මා එක්ක ගොඩක් ෆිට් පොඩ්ඩි. ලොක්කි මට වඩා අවුරුදු 10ක් වැඩිමල් නිසා එයා මගේ අම්මා වගේ. ආදරේ රැකවරණය හැමදාම එයාගෙන් ලැබෙනවා. පොඩ්ඩි කියන්නේ ඉතින් මගේ හොඳම යාළුවා සහ හොඳම විවේචකයා කිව්වොත් හරි. එයාට තමයි මම මුලින්ම නාට්‍යයක් ලැබුණාම කියන්නේ. මම දන්නවා එයා මාව සතුටු කරන්න නෙවෙයි කියන්නේ, හොඳයි නම් හොඳයි කියනවා නැත්නම් නැහැ කියනවා.

පෞද්ගලික ජිවිතේ තීන්දු තීරණ ගැන කතා කරොත්?

මම මගේ ජීවිතේ කිසිම දෙයකට හදිසි වෙන්නේ නැහැ. මම පිළිගන්නේ මේ මොහොත විතරයි. පෞද්ගලික ජීවිතේ අරමුණු ඉලක්ක තියෙනවා. හැබැයි ඒ හැමදේම කාලය එක්ක තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව බලෙන් කිසිම දෙයක් කර ගත්තට අපිට ඒ දේ උරුම නැත්නම් ටික කාලයක් යද්දී නැතිවෙලා යනවා. ඒ නිසා දැන් මම ඉන්න ස්ථාවරත්වයට මම ආසයි. කලාවෙන් තව ඉස්සරහට යන්න ආසයි. මම නළුවෙක් වෙන්නම ඕනේ කියන සිහිනය දැක්ක කෙනෙක් නෙවෙයි. නමුත් අහඹු ලෙස මම අද මෙතන ඉන්නවා. දැන් මගේ අංක එක කලාව. මට දෙයක් කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා

Copied

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *