Thu. Sep 19th, 2024

මොළේ මියගිය සිසුවිය අවයව දන්දී අවසන් ගමන් යයි

පාසලේදී දෝනි හදිසියේ රෝගාතුර වුණා. දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තත් මොළේ මියගොස් තිබෙන දුව ජීවත් කරන්න බැරි බව විශේෂඥ දොස්තර මහත්වරුන් කිව්වා. සිරුරු කොටස් දන් දෙන්න කැමතිද කියලා ඇහැව්වා. තවත් ජිවිත ගණනාවක් දෝනි නිසා ජීවත් කරන්න පුළුවන් බව දැනගෙන වකුගඩු දෙක, අක්මාව පෙනහළු ඇතුළු සිරුරේ ඕනෑම කොටසක් දන් දෙන්න මමයි නෝනයි දෙවරක් නොසිතා කැමැත්ත පළ කළා යැයි හදිසියේ රෝගාතුරව මියගිය හසිනි හිරුෂිකා ඉලංකෝන් (අවුරුදු 15) ශිෂ්‍යාවගේ පියා වන අයි.එම්. ඉලංකෝන් මහතා පැවැසීය.

ගම්පොළ, වැලිගල්ල ගොඩදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි හිරුෂිකා අධ්‍යාපනය ලබමින් සිටියේ කොටගල්ඔලුව ශ්‍රී ජිනරතන විද්‍යාලයේ නමවැනි වසරේය. සිරුරු කොටස් දන් දුන් හිරුෂිකා පාසලේ ශිෂ්‍ය නායිකාවක මෙන්ම විදුහලේ පරිසර නියමු කණ්ඩායමේ නායිකාව ද වූවාය. මගේ හිරුෂිකා දියණිය පාසලේ ඉද්දි එකපාරම කලන්තයක් දාලා වැටෙන්න ගිහින් තිබෙනවා. ඒ අවස්ථාවේ අසල සිටි සිසුවියක් ඇය වැටෙන්න නොදී අල්ලාගෙන තිබෙනවා. ඇය කොළඹ රිජ්ගේ ළමා රෝහලේ, මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබුවා. දියණියගේ මොළයේ නහරයක් පිපිරී ඇති බව වෛද්‍යවරුන් අපිත් එක්ක කිව්වා.

දියණිය ගේ මොළය මියගොස් ඇති නිසා ඇය ජීවත් කිරීමට නොහැකි බව දොස්තර මහත්වරුන් කණ්ඩායමක් කිව්වා.

දෝනිගේ මරණය ගැන හදවතට දරාගන්න බැරි වේදනාවක් අපට තියෙන්නේ. අපේ පවුලේ වැඩිමල් දියණියක් ඉන්නවා. හිරුෂිකා මගේ දෙවැනි දුව. පුතා පවුලේ බාලයා.හිරුෂිකා දියණිය අපි පදිංචි වෙලා ඉන්න ගේ ළඟම මිහිදන් කළා. දියණියට තියෙන ආදරයට තමා එහෙම කළේ. දියණිය නිසා තවත් ජීවිත ගණනාවක් මරණයෙන් ගැලවුණායැයි ඉලංකෝන් මහතා වැඩිදුරටත් කීය.මියගිය හිරුෂිකා ගේ අවයව ලබා ගැනීම සම්බන්ධීකරණය කරනු ලැබුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති මොළය මියගිය අයගේ අවයව ලබා ගැනීමේ ඒකකය විසිනි. මොළය මියගිය අයගේ සිරුරු කොටස් දන් දීමට කැමැති අය සිටින්නේ නම් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 0812388001 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

hasini-hirushika

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *