‘අලි රංචු කෙතරම් විල්පත්තුවට පැන්නුවත් නැවත පරණ පුරුදු තැනට එන එක නවත්වන්න බෑ. අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත වගේම දේපල හානි සිදුවන එක නවතින්නෙත් නෑ’
“අනුරාධපුරයට ආපු අලි රංචුවක් විල්පත්තු වනයට පැන්නීමට වනජීවි නිලධාරින් දැන් සතියක වගේ කාලයක් තිස්සේ ලොකු වෙහෙසක් ගන්නවා අපි දැක්කා. පරිසරවේදියෙකු වගේම පරිසර ඇමතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කලක් කටයුතු කළ කෙනෙකු විධියට එය අසාර්ථක වැඩක් බව කියන්න ඕනි. මීට වසර විස්සකට විතර කලින් ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු කළ පර්යේෂණයකින් සොයා ගත්තා අලියෙකු කිලෝ මීටර් සීයක් ඈතට ගිහින් දැම්මත් නැවත තමන් කැමැති ප්‍රදේශයට එනවා කියන එක. මතක ශක්තිය අතින් අලියා ඉදිරියෙන්ම ඉන්නවා විතරක් නොවේ මිනිසා වගේම අතීත කාමය බරපතල විධියට අලියාටත් තිබෙනවා. ඒ නිසා අලි රංචු කෙතරම් විල්පත්තුවට පැන්නුවත් නැවත පරණ පුරුදු තැනට එන එක නවත්වන්න බෑ. අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත වගේම දේපල හානි සිදුවන එක නවතින්නෙත් නෑ.
අලියා ගම් වදින්නේ ඇයි? කෑම සහ ජලය සොයා ගෙන. මේ දෙක කැලයේ තිබෙනවා නම් ජීවිතය පරදුවට තබා ගම් වදින්නේ නෑ. මේකට තිබෙන විසඳුම තමයි විල්පත්තු වගේ වනෝද්‍යාන වල වැව් හදලා ජල පහසුකම් ඇති කිරීම. හේන් වවලා වගා කරන ගොවින්ට අස්වැන්නේ වටිනාකම ගෙවලා ඒ අස්වැන්න අලින්ට කන්න අත් හරින එක. මේවා තමයි අද ලෝකය පුරා ක්‍රියාත්මක වෙන අලි මිනිස් ගැටුමට ප්‍රායෝගික විසඳුම්.
කෝටි ගණනින් සෑම වසරකම අලි වැටට මුදල් වෙන් කළත් අලි වැටත් අසාර්ථකයි. ගමයි කැලයයි වැටක් ගහලා වෙන් කරන්න බෑ. හරක් තණ කන්න කැළයට මුදා හරින්න ඕනි. දර එකතු කරන්න පලා නෙලන්න බෙහෙත් පැලෑටි සොයන්න කැලයට යන්න ඕනි. ඒ නිසා අලි වැට ඉල්ලන ගම්මුන්ම මේ අලි වැට කපා ගෙන කැලයට ඇතුළු වෙනවා. ඒ නිසා තායිලන්තය මියන්මාරය වැනි රටවල් අලි ගම් වැදීම නතර කරන්න අලි වැට වෙනුවට භාවිතා කරන්නේ ජෛව විද්‍යාත්මක විසඳුම්. අලියා මී මැස්සාට බය නිසා ගම් මායිමේ මී මැසි කූඩු හදනවා. අලියා අකැමැති සුවඳ පතුරුවන සේර දෙහි වැනි පැලෑටි සිටුවනවා. අලි වැට වියදමක් වුණාට මේ ක්‍රම ආදායම් ජනිත කරලා ගැමියාගේ ආර්ථික සවිමත් කරනවා. අලි වෙඩි දමමින් අලියා පස්සේ දුවනවාට වඩා කඩන්න කඩන්න අලි වැට හදනවාට වඩා මේ වගේ නිර්මාණශීලි විසඳුම් වලට යොමු වෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා”