Wed. Jan 22nd, 2025

අඹේවෙල ගොවිපොළ ලීටර් 60,000 ක වාර්තාගත කිරි නිෂ්පාදනයක්..!

xr:d:DAFfZvoCkPQ:68,j:44856842309,t:23040909

ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ අඹේවෙල ගොවිපොළ කිරි ලීටර් 62,000 ක නිෂ්පාදනයක් වාර්තා කරමින් දෛනික කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් නව වාර්තාවක් පිහිටුවා තිබේ. 2001 වසරේදී මෙම ගොවිපළ රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශය වෙත පවරා ගන්නා විට පැවති දෛනික නිෂ්පාදනය ලීටර් 3,000 ක් වූ අතර, ඊට සාපේක්ෂව මෙය දැවැන්ත වර්ධනයකි. මේ වනවිට අඹේවෙල ගොවිපළ රටේ සමස්ත කිරි නිෂ්පාදනයට වසරකට ලීටර් මිලියන 20 ක දායකත්වයක් ලබාදෙන අතර, මෙය නවීකරණය, විශේෂඥ දැනුම සහ අඛණ්ඩ කැපවීම එක්තැන් කිරීම මගින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීම පිළිබඳ මනා උදාහරණයකි.

වසර ගණනාවක් තිස්සේ අතිශය පරීක්ෂාකාරී ලෙස සැලසුම් සකස් කිරීම, සැලකිය යුතු ආයෝජනයන් සිදුකිරීම සහ නව්‍ය කිරි ගොවිතැන් ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම හේතුවෙන් මෙම සාර්ථකත්වය අත්කරගැනීමට අඹේවෙල ගොවිපොළට හැකි වී තිබේ. 2019 වසරේදී ගොවිපොළේ කටයුතු සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ස්වයංක්‍රීය ලෙස කිරි ගවයනින් ගාල් කිරීමේ සහ කිරි දෙවීමේ යන්ත්‍රාගාර දෙකක් ස්ථාපිත කරන ලදී. මෙය රු. බිලියන 5 ක වටිනාකමකින් යුත් දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියක එක් අදියරක් විය. එමගින් වසර දෙකක් තුළ නිෂ්පාදන ධාරිතාව දෙගුණ වූ අතර, අඹේවෙල ගොවිපළේ ප්‍රමිතීන් ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමටද හැකියාව ලැබිණි. කිරි ගවයන් වෙනුවෙන් වෙන්කර ඇති පහසුකම්වල සිට පරිගණකගත කළමනාකරණ පද්ධති දක්වා සියලුම දේ, ගොවිපොළෙහි මෙහෙයුම් කටයුතු විශිෂ්ට ලෙස පවත්වාගෙන යාම සඳහා ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරයි.

අඹේවෙල ගොවිපොළේ මෙම සාර්ථකත්වයට යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පමණක් නොව, ඉදිරිගාමී චින්තනයද විශාල වශයෙන් බලපා තිබේ. ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත ගවයන්ගේ ශුක්‍රාණු යොදාගනිමින් සිදුකරන ලද උසස් අභිජනන වැඩසටහන් හේතුවෙන් වැඩි කිරි අස්වැන්නක් ලබාදෙන එළදෙනුන් දේශීය වශයෙන් බිහිකිරීමට හැකි විය. ලොව ඉහළම වාණිජ වටිනාකමක් සහිත එළදෙනුන් සමග සැසඳිය හැකි, ජානමය වශයෙන් උසස් මෙම එළදෙනුන් දින 305 ක කිරි නිෂ්පාදන චක්‍රයක් තුළ ලීටර් 12,000 ක් වැනි ඉහළ කිරි අස්වැන්නක් ලබාදෙයි. තවද එළදෙනුන් ලෙඩරෝගවලින් ආරක්ෂා කරමින් ඵලදායීතාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු සෞඛ්‍ය පරීක්ෂණ හා නිවාරණ වැඩසටහන්ද ගොවිපොළ මගින් දැඩි ලෙස ක්‍රියාවට නංවා තිබේ.

මේ ආකාරයට ඉහළ කිරි අස්වැන්නක් ලබාගැනීම සඳහා එළදෙනුන්ට නිසි පෝෂණයක් ලබාදීමද අතිශයින් වැදගත් ය. ජාත්‍යන්තර පෝෂණවේදීන්ගේ මගපෙන්වීම යටතේ අඹේවෙල ගොවිපොළ මේ වනවිට ඉහළ කිරි අස්වැන්නක් ලබාදෙන එළදෙනුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ආහාර රටාවන් හඳුන්වා දී ඇත. එමෙන්ම විදේශ රටවලින් ගෙන්වා ගොවිපොළ සතු තණබිම්වල වගා කර ඇති විශේෂ තෘණ වර්ග මගින්ද එළදෙනුන්ට ඉහළ පෝෂණයක් ලැබේ. තවද පැටවුන් වෙනුවෙන් හඳුන්වා දී ඇති උසස් ආහාර දීම් හා රැකවරණ ක්‍රමවේදයන් මගින් ඉහළ වර්ධනයක් සහ ඉක්මනින් වැඩිවියට පැමිණීමක් සහතික කරන අතර, එමගින් ඵලදායීතාව අඛණ්ඩව ඉහළ නැංවීමට හැකි වී ඇත. මේ සියල්ල නිසා අඹේවෙල ගොවිපළෙහි සිටින එළදෙනුන් සාමාන්‍යයෙන් දිනකට කිරි ලීටර් 40 ක් පමණ ලබාදෙයි.

“සාමූහික ප්‍රවේශයක් ඔස්සේ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ දැනුම සමග දේශීය කාර්ය මණ්ඩලයේ පළපුරුද්ද හා කැපවීම එක්තැන් කිරීම නිසා අපට මෙම සාර්කත්වය අත්කර ගැනීමට හැකියාව ලැබුණා. මෙය වසර ගණනාවක් පුරා අප දැරූ වෙහෙස මෙන්ම අපගේ ක්‍රමෝපායික සැලසුම් හා නවෝත්පාදනයන් මල්ඵල ගැනීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. ගෝලීය දැනුම සමග දේශීය පළපුරුද්ද හා කැපවීම එක්තැන් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයට නව ආදර්ශයක් ලබාදීමට අපට හැකි වී තිබෙනවා. ඉදිරියටත් රටේ කිරි කර්මාන්තය නගාසිටුවීමට කැප වෙමින්, ඵලදායීතාව හා ප්‍රමිතිය ඉහළ නැංවීම ඔස්සේ ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම අපගේ අරමුණයි.” අඹේවෙල ගොවිපළේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා පැවසී ය.

අඹේවෙල ගොවිපොළ අත්කරගෙන ඇති මෙම දියුණුවේ ප්‍රතිඵල එම ගොවිපොළට පමණක් සීමා නොවේ. තම ගව රංචුවල සිටින උසස් තත්ත්වයේ පැටවුන් ප්‍රදේශයේ කිරි ගොවීන් වෙතද ලබාදීමටත්, විශිෂ්ටතම ක්‍රමවේදයන් භාවිතා කරමින් ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට එම ගොවීන් දිරිගැන්වීමටත් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. සැම දෙනාම රටක් ලෙස එකට එක් වී දියුණුව කරා යා යුතු බව ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දැඩි ලෙස විශ්වාස කරන අතර, එම විශ්වාසය පදනම් කරගෙන ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන්, රටේ කිරි කර්මාන්තයේ දියුණුව උදෙසා කැපීපෙනෙන දායකත්වයක් ලබා දෙමින් සිටී.

මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ කාර්යක්ෂමතාව හා ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමට උපකාරී වන අතරම රටේ ආහාර සුරක්ෂිතතාවද සහතික කරයි. එමෙන්ම මෙය කර්මාන්තයක දියුණුව උදෙසා උසස් තාක්ෂණය, විශේෂඥ මගපෙන්වීම් සහ තිරසාර ක්‍රමවේදයන් භාවිතා කිරීම කෙතරම් වැදගත්ද යන්නට මනා සාක්ෂියකි. මේ ආකාරයට නව සන්ධිස්ථානයන් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ දියුණුවට උර දෙන අතරම පාරිභෝගිකයන්ට ඉහළම වටිනාකම් තිළිණ කරමින්, කිරි කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීම ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ අරමුණ වී තිබේ.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *