Fri. Mar 14th, 2025

නම විතරයි මතක..උදේට කාපුවත් මතක නෑ..2013 ගණුදෙනු කොහොමත් මතක නෑ..!- අධිකරණයට කියයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සභාපතිත්වය දැරූ කාල්ටන් ස්පොර්ට්ස් පුද්ගලික සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබුණේ දෙදහස් දහසය වසරේ සිටයි.

රුපියල් මිලියන පනස් නවයකද අධික මුදලක් සහිත ස්ථිර තැන්පතුවක් සම්බන්ධයෙන් එහිදී අනාවරණය වූ අතර එම බැංකු ගිණුම පවත්වාගෙන ගොස් තිබුනේ යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරෙස්ට් වික‍්‍රමසිංහ නමිනුයි.

අදාල විමර්ශණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අනූ හත් හැවිරිිදි ඩේසි ෆොරෙස්ට් වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුනි.

ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ඇය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරින.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් කියා සිටියේ උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රුපියල් මිලියන පනස් නවයක හවුල් ගිණුම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවයි.

ඇයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බවද ඔවුන් පැවසූහ.

කෙසේ වෙතත් එහිදී විත්තිය වෙනුවෙන් නීතීඥවයරා ඇප ඉල්ලා සිටිය අතර ඔහු පෙන්වා දුන්නේ අදාළ සිද්ධියේ මූලික විමර්ශනය 2015 වසරේදී ආරම්භ වී ඇති අතර නීතිපති උපදෙස් සඳහා විමර්ශන උදෘත ගොනුව ගොනුකර ඇත්තේ 2017 වසරේදී බවය.

‘ස්වාමිනි, මාගේ සේවාදායිකාව විමර්ශන වලට අදාලව මුල්වරට ප්‍රකාශයක් ලබා දුන්නේ මීට වසර දහයකට පෙරයි. දැන් ඇයගේ වයස අවුරුදු අනූ හතක්. ශරීර ශක්තියෙන් එහා මෙහා යන්න පුළුවන් වුනාට ඇයගේ මතක ශක්තිය යහපත් තත්ත්වයක නැහැ. ඇයට නම හැරෙන්න වෙන කිසිම දෙයක් මතක නැහැ. ඇය උදෑසන ගත් ආහාරය කුමක්ද යන්නවත් මතක නැතුව ඇති. එහෙම තත්ත්වයක් තුළ විමර්ශන නිලධාරීන් 2013 වසරේදී බැංකු ගිණුමක සිදුවූ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා’ යයි පවසා සිටියේය.

සැකකාරියට ඇප ලබාදීමට විරුද්ධ නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද සඳහන් කළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකාරිය රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරය අප තුනක් මත මුදා හරින ලෙසය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *