නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව පවසන ජනාධිපතිවරයා නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇතැයි ද පැවසීය.
නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද පැවසු ජනාධිපතිවරයා, අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරාම පැතිරී ඇතැයි ද කියා සිටියේය.
දුෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණයත් නොවන බව ද පැවසු ජනාධිපතිවරයා, ඒ සඳහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඒ සඳහා සහාය ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
“ඕනෑම ශක්තිමත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාම ශක්තිමත් පදනමක්, අත්තිවාරමක් අවශ්‍යයි. අපේ රට, අපේ ජාතිය අත්තිවාරම අහිමි වූ රටක්. පදනම අහිමි වූ රටක්. ඒ නිසා අපි මුලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයෙන් නිමා කරමින් තිබෙනවා. මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය අත්තිවාරම අපි සකස් කරලා තියෙනවා. දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, නීති විධාන ආධිපත්‍ය, ව්‍යවස්ථාවට ගරු කිරීම හා ආරක්ෂා කිරීම, ඒ වගේම වංචාව දුෂණය පිටුදැකීම. මේ අත්තිවාරම ඉදිරියට ගෙන යෑමට නම් අපි ඉතාමත් වේගයෙන් මේ අත්තිවාරම ගොඩනගමින් තිබෙනවා. පුරවැසියන්ට ඒ ගොඩනගා තිබෙන අත්තිවාරම මත ආර්ථික ප්රතිලාභ පුරවැසියාට ගලා යා යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවනවා…”
මේ අතර එළැඹෙන අයවැයෙන් දුප්පත්භාවය තුරන් කරන නව ආර්ථික වැඩපිළිවෙලක ආරම්භය සනිටුහන් කරන බවත්, දෙවැනුව රට ඩිජිටල්කරණයට ලක්කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
තුන්වන වැඩසටහන Clean Sri Lanka වැඩසටහන බවත් සමස්ත ගරා වැටුණු දිරාවැටුණු මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය සදහා සෑම අංශයකම සිදුකරන පිරිසිදුභාවය මෙහි අරමුණු බව ද ජනාධිපතිවරයා හෙළි කළේය.
සංගා හා මහේල ජනපතිට දුන් ශක්තිය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සංගක්කාර මහතා මේ බව පවසා සිටියේය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (1) පෙරවරුවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට හිටපු නායකයින් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන මහත්වරුන්ද සහභාගි වූහ.
මෙහිදී සංගක්කාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම වැඩසටහන ඉතාම කාලීන වූත් වැදගත් ක්‍රියාවලියක් බවයි.
එමෙන්ම මෙම මානසිකත්වය වෙනස්කිරීම තුළින් යහපත් වටිනාකම්, හරයන් එදිනෙදා ජීවිතයටත් පරිපාලනයටත් එක්කිරීම තුළින් රටේ දියුණුවට මෙන්ම ජනතාවගේ දියුණුවට ද විශාල රැකුළක් බවද හෙතෙම පැවසීය.
“ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් අද මේ දියත් කරන්න ගරු ජනාධිපතිතුමා අපෙන් ඉල්ලා සිටියේ. ඉතාමත් හොඳ දෙයක් අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ මෙවැනි ක්‍රියාවලියක් දියත් කිරීම. සරළ විදියට අර්ථකථනය කළාට ඉතාමත් ගැඹුරු අදහසක් එක්ක තමයි මේ ක්‍රියාවලිය දියත්කරලා තියෙන්නේ”.
මෙහිදී මහේල ජයවර්ධන මහතා පවසා සිටියේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ඉතාමත් වැදගත් කර්තව්‍යක් බවයි.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සහයෝගයත් සමග පුරවැසියන්ට ද මෙම ව්‍යාපෘතිය ඉදිරියට රැගෙනයාමේ විශාල වගකීමක් තිබෙන බව හෙතෙම පැවසීය.
“මම හිතන්නේ ඉතාමත් වැදගත් කර්තව්‍යක් අලුත් අවුරුද්දේ. ජනාධිපතිතුමත් අනෙක් හැමෝගෙම සහයෝගයත් එක්ක අපට පුරවැසියන් විදිහට ලොක වගකීමක් තියෙනවා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. හොඳ පටන් ගැන්මක්. බොහෝ දේ කරන්න තියෙනවා ඉදිරියට”.