Wed. Dec 25th, 2024

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා අපේක්ෂා රෝහලට – අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් දෙයි – අන් අයටත් උදව් කරන්නැයි කියයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ඊයේ දිනට (18) 25 වසරක් සපිරිණ.

1999 දෙසැම්බර් මාසයේදී තමන් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයෙන් වසර 25ක් සපිරීම නිමිත්තෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ඊයේ අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කළාය.

බෝම්බ පිපිරීමෙන් මියගිය තම ආරක්ෂක නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට තමන් සමඟ සහභාගී වූ බව හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

හිටපු කථානායක කරු ජයසූරිය සහ වෛද්‍ය ලංකා ජයසූරිය විසින් මෙහෙයවනු ලබන ‘ඉන්දිරා පිළිකා භාරය’ වෙත මෙම ඖෂධ පරිත්‍යාගය සිදු කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කළා ය.

තමාගේ ජීවිතය බේරාගැනීමට සිය ජීවිතය කැප කළ වීරෝදාර රණවිරුවන් සහ ආරක්ෂකයින් හට සිය ගෞරවය සහ උත්තමාචාරය සෑම විටම පිරිනමන බවද ඇය පැවසුවාය.

තමන් මේ වන විට දේශපාලනයෙන් මුළුමනින් ම විශ්‍රාම ගොස් ඇති බවත්, රටේ අනාගත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම පදනම හරහා විශාල සේවාවක් කරමින් කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට හිටපු කතානායකවරයෙකු මෙන් ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන කරු ජයසූරිය මහතා ද එක් ව සිටියේය.

අපේක්ෂා රෝහල ගැන හිටපු ජනාධිපතිගෙන් සටහනක්

“මහල් හයක සංකීර්ණය රෝගී දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වටිනා සේවාවන් සපයයි. එය ප්‍රණීත ආහාර පාන, සෙල්ලම් බඩු, අධ්‍යාපනික උපකරණ ආදී සියලු පහසුකම්වලින් සමන්විත වන අතර බස් ගාස්තුව දරා ගැනීමට නොහැකි ජනතාවට සහන සැලසෙනු ලබයි.” යැයිද ඇය පැවසුවාය.

අන් අයට උපකාර කිරීමට කැමති ඕනෑම අයෙකුට රෝහල ඉතා වටිනා සහ සුදුසු ස්ථානයක් බවට හිටපු ජනාධිපතිනිය සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.

”බෝම්බ ප්‍රහාරයට ලක්වී වසර 25 ක් පිරීම නිමිත්තෙන් එම ප්‍රහාරයෙන් දිවි අහිමි වූ මාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් සමග ශ්‍රී ලංකා අභිමාන්‍ය කරූ ජයසූරිය මහතා සහා වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය විසින් ක්‍රියාත්මක කරන “ඉන්දිරා පිළිකා භාරය” සඳහා පරිත්‍යාගයක් සිදු කළෙමි. මාගේ සොහොයුරිය සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය විසින්ද පරිත්‍යාගයක් සිදු කරන ලදී

මහල් හයකින් සමන්විත එම පරිශ්‍රය රෝගී දරුවන් සහ එම පවුල්වල සාමාජිකයින්ට ඉතා අගනා සේවාවක් සපයනු ලබයි. ඉතා ප්‍රනීත ආහාර පාන, සෙල්ලම් බඩු අධ්‍යාපන උපකරණ ආදී සියලු පහසුකම්වලින් එය සමන්විත වන අතර බස් ගාස්තු සපයා ගැනීමට අපහසු ජනයාට ඒ සඳහා ද උදව් කරනු ලබයි. ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ ඉතාමත් වටිනා සමාජ සත්කාරයකි.

යම් කෙනෙකු තවත් කෙනෙකුට උදව් කිරීමට කැමති නම් මෙය ඉතාමත් අගනා සහ සුදුසු ස්ථානයක් ලෙස මම නිර්දේශ කරමි. ඔවුන්ට මේ අගනා සමාජ සත්කාරය තවත් හොඳින් ඉටු කිරීමට ශක්තිය ධෛර්‍ය්ය ලැබේවා!”

හිටපු ජනාධිපතිනිය ඉලක්ක කර ගත් බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුණේ 1999 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන ප්‍රචාරක රැලියට සහභාගී වූ ඇය එතැනින් පිටවී යමින් සිටියදීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඝාතනය කරනු ලැබීමේ අරමුණින් කොළඹ නගර සභා පිටියේදී එල්ල කෙරුණ එම බෝම්බ ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිනියට ආරක්ෂාව සැපයූ ආරක්ෂකයින් සයදෙනෙකු ඇතුළු එම රැළියට සහභාගී වෙමින් සිටි විසිහය දෙනකු මරණයට පත් වූ අතර හිටපු ජනාධිපතිනියගේ දකුණු ඇස අහිමිවිය.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *