විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය ලබන අප්‍රේල් මාසයේ සිට රුපියල් හත්දහස් පන්සියය දක්වා වැඩි කෙරෙන අතර එම දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට හැකි ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසීමක් කර තිබේ. මෙම විමසීම කර ඇත්තේ පසුගිය දා පැවති සාකච්ඡාවකදීය.
මෙම දීමනාව රුපියල් දස දහසක් දක්වා වැඩි කිරීමට අදාළව පසුගිය ආණ්ඩුව අවසාන භාගයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමකට එවක කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය නොලැබිණි.
ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු වන්නේ මුදල් අමාත්‍යාංශයම බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රතිපාදන කොමිෂන් සභා ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
රුපියල් පන්දහසක දීමනාව ලබා දීම සඳහා මහපොළ භාරකාර අරමුදලට වාර්ෂිකව රුපියල් කෝටි තුන්සියයක් පමණ වැය වන අතර දීමනාව රුපියල් හත්දහස් පන්සියයක් දක්වා වැඩි කිරීමේදී අමතරව රුපියල් කෝටි දෙසියයක් පමණ වැය කිරීමට සිදු වන බව වෙළෙඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.
මේ වන විට වසරක පමණ කාලයක් අධ්‍යයන කටයුතු කරන පළමු වසර සිසුන්ගේ මහපොළ දීමනා ගෙවීමට අදාළ ලේඛන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මහපොළ භාරකාර අරමුදලට යවා තිබෙන නමුත් මෙතෙක් ගෙවීම් ආරම්භ කර නැත. දීමනා ලබා ගැනීමට සුදුසුකම් ඇති සිසුන්ගේ නාමලේඛන ඇතැම් විශ්වවිද්‍යාලවලට මේ වන විට ලැබී තිබේ.
මහපොළ දීමනා ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් වසරකට සිසුහු දහසය දහසක් පමණ සුදුසුකම් ලබති.