Sat. Dec 28th, 2024

විවාහයට සියල්ල සුදානම් කර තිබියදී මනමාලියගෙ කට නිසා අම්මයි පුතයි මනාලිය එපා කියයි

විවාහ මංගල්‍යයට සියල්ල සූදානම් කර තිබිය දී හදිසි කෝපයක දී බැන වැදුණා යැයි පවසා මනාලිය එපා යැයි තරුණයකු හා මවක කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් බැස ගිය බව කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස මනාලිය එපා යැයි පවසා ගොස් ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 57 හැවිරිදි දෙදරු මවක හා ඇගේ එකම 24 හැවිරිදි පිරිමි දරුවා බව පොලිසිය පැවසීය.

පොලිසියෙන් බැස ගොස් ඇති කාන්තාව ගුරුවරියකි. ඇගේ සැමියා කෑගල්ල ප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නේය. මෙම යුවළගේ වැඩිමල් එකම දියණිය විවාහ වී යුරෝපා රටක පදිංචිව සිටින්නීය. 24 හැවිරිදි එකම පිරිමි දරුවා පියා සේවය කරන ආයතනයේ රැකියාවක් කරන්නේය.

මෙම 24 හැවිරිදි තරුණයා කලකට ඉහත දී විවාහ මංගල්‍යය උත්සවයක දී මහනුවර ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණියක හඳුනාගෙන දෙපාර්ශවයේ ආශිර්වාද මධ්‍යයේ 2022 ජූලි මාසයේ දිනක ඔවුන්ගේ විවාහය ද ලියාපදිංචි කළහ. එළඹෙන අගෝස්තු 11 වැනිදා විවාහ මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් සිදු කිරීමට මේ දිනවල ලහි ලහියේ වැඩ කටයුතු සිදු කරන්නේය. මනාලයාගේ මවුපියෝ තම එකම දරුවාගේ විවාහ මංගල්‍යයට කෑගල්ල ප්‍රදේශයේ හෝටලයක් ද වෙන් කළහ.

විවාහ මංගල්‍යය සිදු කර ගැනීමට සිටි තරුණ යුවළ අතර මාසයකට පමණ ඉහත දී දෙදෙනා අතර දුරකතනයෙන් යම් වචන හුවමාරුවක් සිදුව තිබේ. එහිදී තරුණිය තරුණයාට දුරකතනයෙන් මව හා යුරෝපා රටක පදිංචිව සිටින වැඩිමල් සහෝදරියගේ එකම පුතා ඝාතනය කරන බවට පවසා තිබේ. පසුව තරුණයා ඒ සම්බන්ධයෙන් සිය මවට කීවේය.

පසුව තරුණයාගේ මව ඉකුත් දා කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණ මනාලියගේ ප්‍රකාශය ඉදිරිපත් කර ඇය තම පුතාට එපා යැයි පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

පැමිණිල්ලට අනුව පොලිසිය විසින් දෙපාර්ශ්වය කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කැඳවා තිබුණි.
එහිදී තරුණයාගේ මව පොලිසිය හමුවේ තමන්ගේ පවුල ආර්ථික දුෂ්කරතා හමුවේ ගොඩ ආ පවුලක් බවත් එකම දියණිය විවාහ වී යුරෝපා රටක දැනට පදිංචිව සිටින බවත් පැවසුවාය. සැමියා හා එකම පුතා රඹුක්කන ප්‍රදේශයේ ආයතනයක සේවය කරන බවත් තමන් ද ගුරුවරියක බවත් පැවැසුවාය.

පුතාගේ කැමැත්තට මනාලියක සොයා ගත් බවත් 2022 විවාහය ලියාපදිංචි කර විවාහ මංගල්‍යය ඉදිරියේ දී ගැනීමට සිටි බවත් පැවසුවාය. පසුව එළඹෙන අගෝස්තු 11 වැනිදා විවාහ මංගල්‍ය උත්සවය සිදු කිරීමට සියල්ල සූදානම් කර සිටිය දී දෙදෙනා අතර යම් බහින් බස් වූ අවස්ථාවක මනාලිය තමා හා විදේශ ගතව සිටින දියණියගේ පුතා ඝාතනය කරන බවට දන්වා ඇති බවත් පැවසුවාය.
කැන්දාගෙන යෑමට පෙර එලෙස කතා කරනවා නම් කැන්දාගෙන ගියාට පසුව කොහොම තියෙයි ද යන්න පිළිබඳ හැඩූ කඳුළින් පැවසුවාය. තමාට මනාලිය එපා බව ද වැඩිදුරටත් කීවාය.

එහිදී තරුණිය පොලිසිය හමුවේ කියා සිටියේ තමන් එවැනි දෙයක් කිව්ව බවත් සමාව ලබාදෙන ලෙසත් බැගෑපත්ව පොලිසිය ඉදිරියේ දී ඉල්ලීමක් කළාය.

පසුව පොලිසිය දෙදෙනාට වැඩි වයසක් නොමැති බවත් ජීවිතය ගැන අවබෝධ ඇති කරගෙන දෙදෙනා ජීවත් වෙන ලෙස දැන්වීය. එහිදී තරුණයා තමන් මුලදී පෙම්වතියට ආදරය කළ බවත් ඒ ආදරය හා සමාන ආදරයක් තම මවට ද ඇති බවත් පැවැසීය. තමාට පෙම්වතිය දැන් එපා වූ බවත් වැඩිදුරටත් පැවසීය. පසුව තරුණයා හා තරුණයාගේ මව ද මනාලිය එපා යැයි පොලිසියෙන් පිටව ගියහ.

 

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *