Sun. Jan 19th, 2025

මෙතෙක් ලෝක සංගීතයේ විශිෂ්ටතමයෙකු වෙනුවෙන් සංගීතය සැපයූ අපේ සංගීතවේදිනිය..!!

බීතෝවන් – ඇන්ටෝනියෝ විවල්ඩි – ජෝසප් හයිඩ්න් වැනි ලෝක සංගීතයේ පුරෝගාමීන්ගේ නිර්මාණවලට සංගීතය එකතු කිරීමට ලංකාවේ අපේ සංගීතවේදිනියකට අවස්ථාව ලැබුනු බව ඔබ දන්නවාද..?

මේ අතිශය දුර්ලභ අවස්ථාව ලැබුනේ, ලංකාවේ සිටි ප්‍රවීණතම සංගීතඥයෙකු වූ ප්‍රේමසිරි කේමදාස ශූරින්ගේ දියණිය වන ගයාත්‍රි කේමදාස මහත්මියටයි. ඇගේ සංගීතයෙන් හැඩවන ශේෂ (Sheysha) අලුත්ම සිංහල චිත්‍රපටයත් නුදුරේදීම දිවයින පුරා තිරගත වීමට සූදානම්…

ලෝක සංගීත ඉතිහාසයේ අග්‍රගණ්‍ය සංධ්වනියක් වන ජෝසප් හයිඩ්න්ගේ “Creation” නැමැති සංගීත වාදනයේ, ඔහු විසින් අවසන් නොකළ කොටසකටයි ගයාත්‍රි කේමදාස විසින් මේ ආකාරයට සංගීතය මුසු කළේ. දැනටමත් එංගලන්තය ඇතුලු රටවල් රැසකදී මෙය තිරගත කර තිබෙනවා.

මෙය ලාංකික සංගීතවේදියෙකුට ලැබුනු අතිශය දුර්ලභ අවස්ථාවක්..

එමෙන්ම, ලෝකප්‍රසිද්ධ සාහිත්‍යධරයෙකු වන රවීන්ද්‍රනාත් තාගෝර්ගේ කාව්‍යයක් වෙනුවෙන් සංගීතය මුසු කිරීමේ භාග්‍යය ද මීට පෙර ඇයට ලැබුනා. Freedom නැමැති තාගෝර්තුමාගේ ප්‍රසිද්ධ කවියක් එහිදී ඇය සංගීතවත් කලා.

ගයාත්‍රී කේමදාස මෙරට සංගීත අධ්‍යක්ෂණයට එක්වන්නේ තණ්හා රතී රඟා චිත්‍රපටයෙන්. තණ්හා රතී රඟා චිත්‍රපටය වෙනුවෙන් එම වසරේ දෙරණ සිනමා සම්මාන උළෙල, Hiru Golden Film Awards සහ OCIC සම්මාන රාත්‍රිය වැනි සෑම උළෙලකදීම “විශිෂ්ට සංගීත අධ්‍යක්ෂණයට” හිමි සම්මානය දිනා ගන්නටත් ගයාත්‍රි කේමදාස සමත් වුනා.

ඇය සංගීත අධ්‍යක්ෂණය කළ දෙවන සිනමාපටය වූ The Newspaper වෙනුවෙන් ඇමරිකාවේ සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘විශිෂ්ටම සංගීත අධ්‍යක්ෂණය’ට හිමි සම්මානය යළිත් ජයග්‍රහණය කළා.

මෙවැනි ජාත්‍යන්තර අවධානයට ලක් වුනු මෙරට විශිෂ්ට සංගීතවේදිනියක වන ගයාත්‍රි කේමදාස මහත්මිය විසින් සංගීත අධ්‍යක්ෂණය කළ “ශේෂ” (Sheysha) සිනමාපටයත් 2025 වසරේ මුල සිට ලංකාව පුරා තිරගත වීමට නියමිතයි.

මෙරට සාම්ප්‍රදායික නර්තන කලාව රැකගන්නට වෙර දරන පාරම්පරික නර්තන පවුලක් වටා ගෙතෙන ශේෂ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ඉසුරු ගුණතිලකයි. ලාංකීය නර්තන කලාවේ පුරෝගාමී චරිතයක් වන චන්දන වික්‍රමසිංහ මහතා සමඟින් ජනප්‍රිය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න මෙහි ප්‍රධාන චරිත රඟපානවා. මේ වනවිටත්, ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක්ම නියෝජනය කරන්නටත් මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.

2025 වසරේ මුල සිට ශේෂ සිනමාපටය ලෝ පුරා රටවල් කිහිපයකම තිරගත වීමට නියමිතයි.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *