Sun. Jan 19th, 2025

ආණ්ඩුවෙන් සුපිරිම තීරණයක් – පොලිසිය සුද්ධ කිරීමට අත තබමින් ප්‍රථම වරට කාන්තාවන් 4 කට මුල් පුටු..!

ප්‍රභූ දේශපාලන පන්තිය නන්නත්තාර කරමින් පසුගිය සැප් 21 දා මාලිමාවේ සාමාන්‍ය පන්තියේ විධායක ජනාධිපතිවරයෙක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේ ද තුනෙන් දෙකකට වඩා වැඩි බලයකුත් ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් ඒ මැතිවරණ දෙකේදීම ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් වන නීතියේ විධානයේ ආධිපත්‍යය යළි පිහිටුවීමේ ප්‍රධාන පියවරක් වන ශ්‍රී ලංකා පොලිසිය සුද්ධ කිරීම කල් යල් අරගනිමින් අද සිදුකර තිබේ. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ද සහිතව පොලිසියේ මුල් පුටු 54 ක් සඳහා අලුතින් නිලධාරීන් නිලධාරිනියන් පත් කිරීමයි.

නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් සිවුදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35 දෙනකුට, පොලිස් අධිකාරිවරු 07 දෙනකුට සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට මෙසේ මාරුවීම් ලබා දී ඇත.

ප්‍රථම වරට මුල් පුටු 4 කට කාන්තා නිලධාරිනියන් 4 ක්..!

මෙහිදී ප්‍රථම වරට පොලිසියේ මුල් පුටු 4 කට කාන්තා නිලධාරිනියන් 4 ක් පත් කර තිබීම විශේෂත්වයකි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස එහි මෙතෙක් නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල ද, පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අධ්‍යක්ෂ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි ද, පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන ද , පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය (පොලිස් රෝහල) අධ්‍යක්ෂ ධුරයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මදාරා ආරියසේන ද වශයෙන් පත් කර ඇත.

ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි තැන දර්ශිකා කුමාරි.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අධ්‍යක්ෂ ධුරය පොලීසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි තැන සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබෙන ස්ථානයක් වන අතර මෙම තනතුර ලැබුණු දර්ශිකා කුමාරි ශ්‍රී ලංකා පොලීසියට 1997 වසරේදී එක් වූ තැනැත්තියකි.

වාර්තා තැබූ ඉමේෂා මුතුමාල.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්වූ ඉමේෂා මුතුමාල ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම ආධුනික කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියන් තිදෙනා අතර ද සිටින්නියකි. ඇය එලෙස බැඳී ඇත්තේ 2007 වසරේ දී ය. ඇය රුහුණ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LLB) උපාධිය ද ලබා ඇත. ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස පත්කරනු ලබන්නේ 2021 වසරේ ජූනි මාසයේදීය. ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ධුරය කාන්තා නිලධාරීන්ට විවෘත වන්නේ නම් එම තනතුර දක්වා ඉහළට යෑමට ඇයට හැකියාවක් ඇත. මන්ද යත් ඇය වයස අවුරුදු 60 න් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින්නේ 2041 වසරේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස් දෙහිදෙණිය නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස මාරුකර තිබේ.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග නව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන බුද්ධික මනතුංග පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය හා විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකරගෙන ඇත. නීතිවේදී උපාධිය හිමිකරගෙන ඇත්තේ විවෘත විශ්වවිද්‍යාලයෙනි.

මෙම ස්ථාන මාරුවීම් ලබා දීම් වල දී මෙතෙක් පොලිස් කොට්ඨාස භාර පොලිස් ප්‍රධානීන් සහ විවිධ අංශ භාර අධ්‍යක්ෂ ධුරවල නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට කිසිදු වගකීමක් නොලැබ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබීම විශේෂත්වයකි.

ස්තූතිය ගයාන් කුමාර වීරසිංහ
උපුටා ගැනීම : ලංකා ඊ නිව්ස්

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *