මිනිස්සු වෙන අපි කාටවුණත් උපත වගේම විපත කියන්නෙත් පොදු වූ ධර්මතාවයක්.. ඒත් මේ හරිම අනුවේදනීය කතාවක්..
ඇය නැති මේ දුක නිපුන කොහොම නම් දරාගන්න ඇතිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. අහිමිවීම්, පැරදවීම් හමුවේ අතරමඟ ජීවිතය හැරදමා යන්නන් අතර, සිය ජීවිතයේ ප්‍රබලම අහිමි වීමක් සිදු වී තිබියදීත් ඒ අහිමි වීමට අමිල වටිනාකමක් දුන් යෞවනයකු වූ නිපුණ ඔහුගේ කතාව කිව්වේ මෙන්න මේ විදිහටයි..
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිපුන මනෝද්‍ය නම් 18 හැවිරිදි සිසුවාගේ මව අනපේක්ෂිත අයුරින් ජීවිතයෙන් සමුගන්නේ හෘදයාබාධයක් හේතුවෙනි. තවත් දින තුනකින් පැවැත්වෙන පාසල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ තීරණාත්මක තරගයකට සහභාගි වීමට සූදානමින් සිටි නිපුන, ඒ තරගයෙන් නව වාර්තාවක් තබනු දැකීම සිය එකම සිහිනය කරගත් මවගේ දේහය රෝහලේ ශීත ගබඩාවේ තැන්පත් කර තබා රෝහලින් පිට වන්නේ ඊට දින තුනකට පසු පැවැත්වෙන තරගය සඳහා සූදානම් වීමටය. නිවාසාන්තර ක්‍රීඩා උලෙළේදී උස පැනීමේ තරගයෙන් ඔහු ජය ගන්නේ පාසල් තරග ඉතිහාසය අලුත් කරමින් මීටර් 1.89ක නව වාර්තාවක් තබමිනි. ඒ ජයග්‍රහණයේ සතුට විඳ ගන්නට සිය මව යළි නොපැමිණෙන බව සිහි වද්දී නිපුනට සිහි වූයේ රෝහල් මෘත ශරීරාගාරයේ සීතල වෙමින් තිබෙන සිය මවගේ සිරුරය. තමා ගැන ආදරණීය මව දුටු සිහිනය සැබෑ කළ පුතකු ලෙස තවත් දින දෙකකට පසු මවගේ අවසන් කටයුතු සිදු කරන්නට මුල් තැන ගන්නද නිපුනගේ සිතට ධෛර්යය තිබිණි. කියන්නත් ලියන්නත් මේ තරම් පහසු වූවාට, එය කරන්න පහසු දෙයක් නොවන බව හදවත් ඇත්තෝ දනිති.
බොහෝ දෙනකු මතුපිටින් නොදකින විසල් වේදනාවක් මේ දැනුදු නිපුනගේ යොවුන් හදවත රිදවමින් තිබේ. ඔහුගේ වදන් මගේ මවුවත් හදවතද වේදනාවෙන් පහුරු ගාමින් නෙතට කඳුළු ගෙනෙයි.
“මගේ ජීවිතේ හැම දේම වුණේ මගේ අම්මා. අපි දෙන්නට හිටියෙ අපි දෙන්න විතරයි. පුංචි කාලේ ඉඳලම මම දැක්කේ එච්චරයි. ක්‍රීඩාව පැත්තෙන් මම ඉහළටම යනවා බලන්න අම්මා හීන දැක්කා. අම්මා නැතිවීම මොන තරම් වේදනාවක් වුණත්, මම අනිවාර්යෙන්ම අම්මගේ හීන සැබෑ කරනවා. අම්මා ජීවිතේම කැප කළේ මම වෙනුවෙන්. අම්මගේ ඒ කැප කිරීමට වටිනාකමක් දෙන එක මගේ යුතුකම. ඒත් අම්මගේ මරණයෙන් පස්සේ ඒ අහිමි වීමටත් වඩා මගෙ හිත රිදෙන දෙයක් වුණා. අම්මයි තාත්තයි වෙන් වෙලා තියෙන්නෙ මට වයස මාස දෙකේදී. මම කවදාවත් මගේ තාත්තව දැකලා තිබුණේ නැහැ. අම්මා නැතිවෙලා ඉන්නකොට මගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒ කතා කළේ මගේ තාත්තා. එයා කිවුවා, අද තමයි මට සතුටුම දවස කියලා. ඒක තමයි මට තාත්තගෙන් ආව පළමුවැනි කෝල් එක. එයා අම්මගෙ මළගෙදරත් ආවා. එයා අම්මා ගැන මොනව කිවුවත් මගේ අම්මා මං වෙනුවෙන් කළ කැප කිරීම් මේ ලෝකෙටම වැඩිය විශාලයි. කිසිම කෙනකුට අම්මා ගැන තියෙන ගෞරවය නැති කරන්න බැහැ. මම අම්මට වුණු පොරොන්දු මම ඒ විදිහටම රකිනවා. එයා කොහේ හිටියත් අද සැනසීමෙන් සතුටින් ඇති. ඒක තමයි අද මට තියෙන ලොකුම සැනසීම.”
නිපුනගේ මව බී.ඒ. පද්මිණි මානෙල් මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය සිය පුතු සමඟ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත්තේ මලියදේව විද්‍යාලයට පුතු ඇතුළත් කරගැනීම සඳහායි. එතැන් සිට මේ දක්වාම නිපුනත් මවත් ජීවත් වන්නේ කුලී නිවෙසකය. පර්සියන් වර්ගයේ සුරතල් බළලුන් ඇති කර අලෙවි කිරීමෙන් පුතුගේත් ඇයගේත් ජීවිතය ගෙන ගිය මානෙල්ට ඇතැම් අවස්ථාවල ඇයගේ ඥාතීන්ගෙන්ද යම් හයියක් ලැබිණි.
“මගේ ජීවිතය තනිකරම අම්මගෙ මහන්සියේ, කැප වීමේ ප්‍රතිඵලයක්. 5 ශ්‍රේණියේ ඉඳලම මම ක්‍රීඩා කළා. හයේ ඉඳලා උස පැනීමේ තරග ඉසව්වෙන් වාර්තා තිබ්බා.”
එපමණක් නොව පැසි පන්දු, රගර්, පිහිනුම් ක්‍රීඩාවට ද දස්කම් දක්වන නිපුන, නාට්‍ය කලාව, නර්තනය, සංගීතය ආදි ක්ෂේත්‍ර රැසක දක්ෂතා දක්වන පාසලේ කීර්තිමත් සිසුවෙකි. බටහිර තූර්ය වාදක කණ්ඩායමේද දස්කම් දක්වා ඇති නිපුන මනෝද්‍ය උස පැනීම තරග අංශයෙන් 2016 වසරේ සිට 2019 වසර දක්වා විද්‍යාලයේ දක්ෂතම ක්‍රීඩකයා වන්නේ පුහුණකරුවකුගේ සහායද නැතිවය. නිපුන උස පැනීමේ අංශයේ පළාත් වර්ණලාභියෙක්ද වේ.
“උස පැනීම අංශයෙන් මම පාසලේ අලුත් වාර්තාවක් තියන්න ඕනෑ කියලා අම්මා හීන දැක්කේ 2016 ඉඳලා. මම තරගවලින් දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා තරගවලින් ජයග්‍රහණ ගොඩක් අරන් තියෙනවා. ඒ හැම දේකදිම අම්මා මගෙ පස්සෙන්ම හිටියා. උස පැනීමට මට පුහුණුකරුවෙක් හිටියෙ නැහැ. ඒත් තරගෙකින් මම දෙවැනියා වුණේ 5 ශ්‍රේණියෙදි පළාත් තරගයකින් විතරයි. අනෙක් හැම තරගයකදිම මම පළමුවැනියා වුණා. අම්මා හැම තරගයක්ම බලන්න එනවා වගේම පුහුණුවීම් කරද්දිත් මා එක්ක එනවා. අපි දෙන්නා ගෙදරින් යන්නේ උදේ 6ට. ගෙදර එන්නේ හවස 6ට. අම්මාට ක්‍රීඩාව ගැන තේරුණේ නැති වුණාට පනින්න ඕනෑ තැන් ගැන මට කියනවා. මම පුහුණුවීම් කරනකල් අව්ව වැස්ස නොබලා පිට්ටනියට වෙලා හිටියා. මම තරග දිනුවට අම්මා කවදාවත් ඒ සතුට සමරලා නැහැ. ඒත් මේ පාර පාසල් නිවාසාන්තර තරගය ගැන අම්මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අම්මා අපේ කාමරේ දොරේ ලකුණු කරලා තිබුණා ශ්‍රී ලංකා පාසල් උස පැනීම් වාර්තාව, අපේ පාසලේ ශ්‍රී ලංකා පාසල් වාර්තාව එක්ක මගේ උස සහ මම මෙතෙක් ගත්ත වාර්තා ඒ සේරම. අම්මා බලාපොරොත්තු වුණේ මම ඒ තරගෙන් මීටර් 1.81ක් ගනී කියලා. අම්මට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. කොලෙස්ටරෝල්, පෙෂර්, ඊසීජී චෙක් කරලා තිබුණත්, ඒ කිසිම දේක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අඩුම ගානේ මම දැනුවත්ව අම්මා අසනීපේකට පැරසිටමෝල් පෙත්තක්වත් බිවුවෙ නැහැ. විසිහතර වැනිදා රෑත් අම්මා මා එක්ක කිවුවෙ මීට් එක හොඳට කරන්න කියලයි.”
එහෙත් පසුදා උදා වූයේ තමාගේ ලෝකයේ හිරු සදහටම අඳුරේ ගිලෙන දිනයක් බව නිපුන කිසි සේත් නොසිතන්න ඇත.
“විසිපස්වැනිදා උදේම මම ඇහැරුණේ අම්මා මට කතා කරනවා ඇහිලා. ළඟට ගියාම අම්මා කිවුවා පපුව රිදෙනවා කියලා. මම අම්මගෙ පපුව අතගෑවා. එතකොට මට දැනුණා අම්මට ගොඩක් අමාරුයි කියලා. ඒ වෙලාවෙ අම්මා කිවුවා, පුතා මට හොඳටම අමාරුයි. පුතා අනිවාර්යෙන්ම රෙකෝඩ් එක තියන්න කියලා. මම ඉක්මනටම ටැක්සියකින් අම්මව කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙනිච්චා. ඒ යද්දිත් අම්මා කිවුවේ ඩ්‍රයිවර්ට හිමින් යන්න කියන්න, කරදරයක් වුණොත් මීට් එකේදි පුතාට රෙකෝඩ් එක තියන්න බැරි වෙයි කියලා. අම්මා හැමදාම ත්‍රීවීල් එකක වුණත් ගියේ මාව වම් පැත්තෙන් තියාගෙන. වාහනයක වැදෙයි කියලා බයට. අම්මව හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළු කරද්දි උදේ 7.45ට විතර ඇති. ඒ වෙද්දි අපේ මාමා කෙනෙකුත් රෝහලට ඇවිත් හිටියා. අම්මා එච්චර අමාරුවෙන් ඉන්න කොටත් මාමට කියලා, ළමයව බලාගන්න කියලා. උදේ 9.30ට විතර ඩොක්ටර්ස්ලා මට කතා කරලා කිවුවා අම්මා නැති වුණා කියලා.”
ඉන් එහාට නිපුන්ගේ මුවින් ගිලිහුණේ බරැති සුසුම් පොදියකි.
“මම එහෙමම ඇස් දෙක පියාගත්තා. මට ඇඬුණේ නැහැ. මගෙ හිතට ආවෙම මේ පාර රෙකෝඩ් එක තියන්නම ඕනෑ කියල අම්මා කියපු කතාව. මම අම්මා ළඟට ගිහින් ඇස් දෙක පියාගෙනම අම්මට වැඳලා ආවා. ගෙදර ආවම මම දැක්කේ අම්මා මේ පාර මීට් එකට අඳින්න මට හොරෙන් සාරියකුත් ගෙනත් කියලා. කවදාවත් මගෙ දිනුමක් සැමරුවේ නැති අම්මා මේ පාර මම රෙකෝඩ් එකක් තියයි කියලා කොයිතරම් විශ්වාසයෙන් ඉඳලද කියලා දැනෙද්දි මට අම්මා නැති වුණ වේදනාවට වැඩිය දැනුණේ මගේ අහිංසක අම්මගේ ඒ හීනය සැබෑ කරන්නෝනි කියල විතරමයි.”
වේදනාවෙන් මුසපත්ව සිටි යෞවනයා ඊළඟට රෝහල් පාලනාධිකාරියෙන් කරන්නේ අනුවේදනීය ඉල්ලීමකි. ඒ, 28 වැනිදා පැවැත්වෙන පාසල් නිවාසාන්තර තරගයට සහභාගි වී පැමිණ අවසන් කටයුතු කරන තෙක් මවගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයේ ශීතාගාරයේ තැන්පත් කරන ලෙසයි. ඒ ඉල්ලීමට හිස නමන්නට තරම් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමිය ඇතුළු කළමනාකාරිත්වය කාරුණික විය. ඒ අනුව මවගේ නිසල දේහය රෝහල් ශීතාගාරයේ තැන්පත් කර පසු දින සිට විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ පුහුණු කටයුතුවලට සහභාගි වීමට තමා තුළ විසල් චිත්ත ධෛර්යය වැඩු පිරිස ගැන නිපුන සිහි කළේ කෘතවේදිවය.
“අම්මා නැති වෙලා බව දැන දැනම මට අම්මගේ හීනේ සැබෑ කරගන්න උදවු කරපු හැමෝටම මම පින් දෙනවා. රෝහලේ අධ්‍යක්ෂතුමිය, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ ආදරය කරුණාව නිසයි මට ඒ දේ කරගන්න පුළුවන් වුණේ. විශේෂයෙන් අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ප්‍රමුදිත ජයසුන්දරගේ මව වන රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි උදේනි මහත්මිය අම්මා නැති වුණ වෙලාවේ ඉඳල අම්මා කෙනෙක් වගේ මාව බලාගත්තා; මගෙ හිත ශක්තිමත් කළා. ඒ වගේම මගේ පාසලේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමා, ක්‍රීඩා භාර ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සියලු ගුරු මණ්ඩලය, මගේ සහෝදර ශිෂ්‍යයන්, මිතුරන් වගේම මගේ මිතුරන්ගේ අම්මලා තාත්තලා මා එක්ක හිටියා. අම්මගේ අවසන් කටයුතු වගේම දානමය පින්කම් කෙරුණෙත් පාසලේ සහ ආදි ශිෂ්‍ය සංගමයෙන්. පාසල දෙවැනි අම්මා වගේ මාව රැකගත්තා. ඒ හැම කෙනාම මට දීපු ආදරයට, කරුණාවට පින් දෙනවා.”
එසේ වුවද නිපුනගේ සිතෙහි ඒ මොහොතේ තිබූ හයිය සුළුපටු එකක් නොවේ. මේ ලෝකයේ තමාට ආදරයත් රැකවරණයත් දුන් එකම ගැහැනිය, අම්මාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර මෘත ශරීරාගාරයේ ශීතාගාරයක තිබෙන බව සිහිවන වාරයක් ගානේ නිපුනගේ පපුව සිර වන්නට විය. එහෙත් 18 වසක් අනන්ත අප්‍රමාණ දුක් විඳිමින් තමාට ජීවිතය දුන් අම්මාට ණය ගෙවිය යුත්තේ තම සුසුම්වලින් කඳුළුවලින් නොව, ඇයගේ එකම සිහිනය සැබෑ කිරීමෙන් බව සිහි වද්දී නිපුනගේ සිතට ලැබුණේ ඔහුද නොසිතූ ආයෝමය ශක්තියකි.
“ඒක ලේසි වුණේ නෑ. දැන් හිතෙනවා මම කොහොම ඒක දරාගත්තද කියලා. අම්මා නැති වුණාම මගෙ හිතට ආවෙ: ‘මට අම්මට පණ දෙන්න බෑ නේ. ඒත් අම්මා මැරෙන මොහොතෙත් මං ගැන දැකපු හීනෙට පණ දෙන්න මට පුළුවන් උපරිමය කරනවා’ කියන අධිෂ්ඨානය විතරයි. එහෙම හිත හිත මම දරාගත්තා. පුහුණුවීම් කළා. විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය මීට් එක ඉවර වෙනකම්ම මං වෙනුවෙන් පිට්ටනියේ. ඒක මට ලොකු ශක්තියක් වුණා. එදා මීට් එක දවසේ මට හිතුණෙම මෙච්චර කල් මගෙ අම්මා දුක් විඳගෙන මම පුහුණුවීම් කරනවා, තරග කරනවා බලන්න මේ පිට්ටනියට ආව නේ. දැන් අම්මා මේ කොහේ හරි ඉඳගෙන සැහැල්ලුවෙන් මං දිහා බලාගෙන ඇති කියලා. 180දි ට්‍රයි දෙකක්ම මට මගහැරුණා. ඒ වෙලාවේ මට බය හිතුණා මට රෙකෝඩ් එක තියන්න බැරි වෙයිද කියලා. එහෙම වුණොත් අම්මගේ හීනේ සැබෑ කරගන්න බැරිවෙයිද කියල හිතෙද්දි මට ඇඬුණා. ඒ එක්කම මට මැවිලා පෙනුණා අම්මා පිට්ටනියේ වෙනදා ඉඳගෙන හිටපු තැනකම ඉඳගෙන මං දිහා බලා ඉන්නවා. එතකොට මගේ හිතට ලොකු හයියක් ආවා. 188දි මගේ කොන්ද ආබාධයකටත් ලක් වෙලා ඉන්න කොට තමයි අන්තිම ට්‍රයි එකෙන් තමයි මට රෙකෝඩ් එක තියන්න පුළුවන් වුණේ. ඒ වෙලාවේ මට පුදුම සැනසීමක් සතුටක් දැනුණා. මගේ අම්මා වෙනුවෙන් මම ඒක කළා කියන සතුටත් එක්ක තමයි අම්මගේ අවසන් කටයුතුවලට ලෑස්ති වුණේ.”
නිපුන සැනසුම් සුසුමක් හෙළුවේ අවසන් නින්දට සූදානම් වී සිටි මවගේ ගෙලෙහි ඔහු දිනාගත් පදක්කම පලඳා ඒ ළය මත ඔහු දිනාගත් සහතිකය තැබුවාට පසුවය. මරණින් දින 6කට පසු නිපුනගේ මව මල්කඩුවාව සුසාන භූමියේදී අවසන් ගමන් ගියේ ඉකුත් මාර්තු 3 වැනිදාය. අද නිපුනගේ ලෝකය පාළුය. මව සමඟ ජීවත් වූ කුලී නිවෙසේ අද ඇත්තේ ඇය ගැන මතකය පමණි. මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිතව තිබුණද නිපුන එය ඊළඟ වසරට කල් දමා ඇත්තේද මවගේ සිහින දිනන්නට තම පියාපත්වලට තවත් සවි වඩාගන්නටය.
“අම්මට ඕන වුණේ ක්‍රීඩාවෙන් වගේම මම අධ්‍යාපනයෙනුත් ඉහළට යන එක. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය සමත් වෙන්න මට ලකුණු තුනයි අඩු වුණේ. සාමාන්‍ය පෙළ ඒ සාමර්ථ්‍ය 5යි, බී එකයි, සී දෙකයි එක්ක සමත් වුණා. ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගය කරලා අම්මාගේ හීන සැබෑ කරගන්න දිගටම මම මහන්සි වෙනවා. උස පැනීමේ තරග අංශයෙන් අන්තර්ජාතික මට්ටමට යන හීනය මම අත්හරින්නෙ නැහැ. ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න කවුරු හරි මට සහයෝගය දෙනවා නම් ඒක මට ලොකු හයියක්. ඒ කොහොම වුණත් මම මගේ අම්මගේ හීන අනිවාර්යෙන් සැබෑ කරනවා.”
දෙනෙත් මත කඳුළු දිලුණද නිපුනගේ ආත්මශක්තිය, අධිෂ්ඨානය පිරි වදන් තුළ ඇත්තේ විස්මිත දරාගැනීමකි. අහිමි වීම්, පැරදීම් හමුවේ ජීවිතය අත්හැර පලා යන්නට සිතන කෙනකුට මේ යෞවනයාගේ චිත්ත ශක්තිය විසල් ආදර්ශයකි.
“අම්මා නැති වුණාට පස්සේ මම මොනවද කරන්නෙ? ඊට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ කියලා මට නොහිතුණා නෙවෙයි. ඒත් මම ඉවසුවා. මම එතැනදි කලබල වෙලා, සේරම ඉවරයි කියලා අතෑරියා නම් දවසකින් දෙකකින් අවසන් කටයුතු කරලා මගේ අම්මා ගැන මතකය එතැනින්ම ඉවර වෙන්න තිබුණා. ඒත් අම්මගෙ හීනය, මැරෙන මොහොතෙත් අම්මා මං ගැන දැකපු හීනය සැබෑ කරලා අම්මා ජීවිත කාලෙම මං වෙනුවෙන් කරපු කැපකිරීම්වලට වටිනාකමක්, අම්මගේ අවසන් ගමනට ඉහළම ගෞරවයක් දෙන්න මට පුළුවන් වුණේ මම ඒ වෙලාවේ ඒ හැමදේම දරාගත්ත නිසයි. කාලය හැමදේම විසඳනවා කියලා මම විශ්වාස කරනවා. මේ වෙලාවේ මගේ හිතේ තියෙන අධිෂ්ඨනය අම්මා මං වෙනුවෙන් කරපු කැපකිරීමට, අම්මගේ ආදරයට වටිනාකමක් ලැබෙන විදිහට මගේ ජීවිතේ ගොඩනඟා ගන්නවා කියන අධිෂ්ඨානයයි.”
නිපුනගේ එවදන් දෝංකාර දෙන්නේ දෙසවනේ නොව හදවතේය.
Source – Hiru Gossip