Wed. Mar 12th, 2025

පරිස්සම් වෙලා හිටපං – පද්මෙගෙ හිතවතකුට ඩුබායි සිට තර්ජනාත්මක ඇමතුම් 6ක්… ඇස් උඩ යන කතාව මෙන්න…!

පරිස්සම් වෙලා හිටපං ” පද්මෙගෙ හිතවතකුට ඩුබායි සිට තර්ජනාත්මක ඇමතුම් 6ක්… ඇස් උඩ යන කතාව මෙන්න…!

සංජීවගේ සහ පද්මෙගේ කල්ලි අතර ගැටුම් උග්‍ර වෙලා… මේ නිසා පාතාල සිදුවීම් වාර්තා වෙනවා… මේ කියන්න හදන්නේ පෙරේදා සිදුවුණු සිදුවීම සම්බන්ධව විශේෂ හෙලිදරව්වක්….

ගණේමුල්ලේ සංජීවගේ සහ කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලි දෙක අතර පවතින ගැටුමේ තවත් ප්‍රතිඵලයක් ලෙස පෙරේදා (08 වැනිදා) රාත්‍රි ගම්පහ අකරවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි චාමර නදී සඳරුවන් නමැත්තාගේ ජංගම දුරකථනයට ඩුබායි සිට ඇමතුමක් ලබාගෙන ඇති ප්‍රහාරය මෙහෙය වූ තම්මිට සුමිත් නමැති පාතාල නායකයා ‘උඹ තාම මැරුණේ නැහැ නේද… පරිස්සම් වෙලා හිටපං’ යැයි පවසා ඇත.

තම්මිට සුමිත් නැමැත්තා මෙම දුරකථන ඇමතුම ලබාගෙන ඇත්තේ තුවාලකරු පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් එම ඇමතුමට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කරද්දී තම්මිට සුමිත් නමැති පාතාල නායකයා ජංගම දුරකථනය විසන්ධි කර තිබේ.

විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ සමීපතමයන් දෙදෙනෙකි.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගණේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසු එම කල්ලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන තම්මිට සුමිත් නමැත්තාගේ මෙහෙයවීම මත බව පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ චාමර නදී නමැත්තා ගම්පහ අකරවිට ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි.

මොහු කෙහෙල්බද්දර පද්මේගේ සමීප හිතවතකු බව පොලිසිය පවසයි.

සංජීව ඝාතනය කිරීමෙන් පසු චාමර නදී නැමැත්තාට ද තර්ජන එල්ල වී තිබූ නිසා ව්‍යාපාරය වසා දමා ආරක්ෂාකාරීව සිටින ලෙස පොලිසිය ඔහුට අනතුරු අඟවා තිබිණ.

චාමර නදී දින ගණනක් තිස්සේ සිය ව්‍යාපාරය වසා දමා සිට පෙරේදා එය නැවත විවෘත කළ දිනයේම රාත්‍රි ඔහුට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

යතුරුපැදියක පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු චාමර නදීගේ ගරාජය ඉදිරිපිටට පැමිණ පිස්තෝල අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබිණි.

ප්‍රහාරයෙන් චාමර නදී සහ ඔහු යටතේ සේවය කරන අජිත් දේවින්ද යන අය තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. මෙම ප්‍රහාරය එල්ල කිරීමට පෙර පෙරේදා දවස පුරාම තම්මිට සුමිත් නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට චාමර නදීට දුරකථනයෙන් 06 වතාවක් කතා කර ඇති බව ද හෙළි වී තිබේ.

ගණේමුල්ල සංජීව සහ කෙහෙල්බද්දර පද්මේ පාර්ශ්ව දෙක අතර පවතින පාතාල ගැටුම ඉතාම බරපතළ තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවත් ඉදිරියේදී මෙම දෙපාර්ශ්වයේම පාතාල සාමාජිකයන් ඥාතීන් හිතවතුන් රැසකට ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවත් පොලිසිය පවසයි.

ප්‍රහාරය එල්ල කර පලා ගිය පාතාල සාමාජිකයන් හඳුනාගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

දිවයින

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *