Thu. Jan 2nd, 2025

ධවල මන්දිරයට ගිය රතු රටකජු ගොවියා අමෙරිකාවේ 39 වැනි ජනපති ජිමී කාටර් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබේ.

මියයන විට ඔහු සියවන වියෙහි පසු වු අතර අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණි.

ජෝර්ජියාවේ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 100 කි.

1924 වර්ෂයේ ඔක්තොම්බර් පළමුවැනිදා , ඇමරිකාවේ ජොර්ජියා ප්‍රාන්තයේ ” ප්ලේන්ස්” ග්‍රාමයේ ,
උපන් ජේම්ස් අර්ල් කාටර් සමීපතයින් අතර ජනප්‍රිය වූයේ ජිමී යන සුරතල් නාමයෙන් ය.

රෝහලක උපත ලද ප්‍රථම අමෙරිකානු ජනපතිවරයා වූ ජිමිගේ ළමා වියෙන් වැඩි කාලයක් ගෙවුණේ පියාගේ රටකජු වතුවලයි.

විදුලි බලයවත් නොතිබුණූ ,ප්ලේන්ස් ප්‍රදේශය අනාගත නායකයෙකු බිහි කිරීමට අවැසි කාරණා වලින් පරිපූර්ණ ප්‍රදේශයක් නොවුනත්, පාසල් අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවදානයක් යෙමු කළ ජිමි දීප්තිමත් ශිෂ්‍යයෙකු විය.

පසුව මේරිලන්ඩ්හි මොනොපොලිස් නාවික විද්‍යායතනයේ ගත කළ කාලය ඔහුගේ ජීවිතයට බොහෝ දේ එකතු වුණු වකවානුවකි.

සාර්ථක අධ්‍යන වසර කිහිපයකට පසු , උපාධිය ලබා ගත් ජිමි, අමෙරිකානු නාවික හමුදාව හා එක්විය.

හවායි හා පර්ල් වරාය ආදී ප්‍රදේශයන්හි ක්‍රියාවිත වල යෙදුණු නාවික හමුදා නිලධාරී ජිමි කාටර් වරෙක සබ්මැරීන ක්‍රියාන්විත වල ද නිරත විය.

තම පියාගේ මරණින් පසු , අත්ලන්තික් සයුරේ රැළි අතරේ ගෙවු ජීවිතයට තිත තැබූ ජිමි, ‘‘ප්ලේන්ස් ‘‘ හි තැනිතලා පුරා රතු රටකජු වගා කළේ ය

1963 දී ජොර්ජියාවේ ආණ්ඩුකාර තනතුර දිනාගත් ඔහු ,කළු ජාතිකයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් , පරිපාලන ප්‍රතිසංස්කරණ ගෙනඑමින් , ජාතික දේශපාලනයේ නියැලීම සඳහා වන යෝග්‍යතාව ප්‍රදර්ශනය කළේ ය.

වෝටර්ගේට් සිද්ධිය හේතුවෙන් චෝදනා ලද, ජනාධිපති රිචඩ් නික්සන්ගෙන් පසු, උප ජනපති ජෙරල්ඩ් ෆෝර්ඩ් ජනපති ධුරයට පැමිණි වකවානුවේ, ජිමි කාටර් 1976 අමෙරිකානු ජනාධිපතිවරණ සටනට එක්විය.

ඔහු ඇමරිකාවේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස පත් වුයේ 1977දී ය.

ගෝලීය අර්බුදවලට සාමකාමී විසඳුම් සොයමින්, මානව හිමිකම් සුරක්ෂිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් ගොඩනැඟීමට දැරූ උත්සාහය වෙනුවෙන් 2002 වසරේදී ඔහු නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ය.

1980 වසරේ ධුරයෙන් සමු ගත් ජනපති කාටර්, නැවතත් ජොර්ජියාවේ රට කජු ගොවිපළට ගියේ ය.

ජීවිතයේ අවසාන කාලයේ පිළිකා රෝගයකින් පීඩා විදිමින් සිටියද ඔහු සමාජ සේවා වල නිරත වෙමින් ලෝකය යහපත් තැනක් කිරීම උදෙසා කැපව සිටියේ ය.

හිටපු ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඔහු ප්‍රතිපත්තිගරුක විශ්වසනීය සහ නිහතමානී මිනිසෙකු බවයි.

ධවල මන්දිරයට ගිය රතු රටකජු ගොවියා යන නාමයෙන් කා අතරත් ප්‍රචලිත ජිමී කාටර්ගේ නාමය අමෙරිකානු ඉතිහාසයේ රන් අකුරින් ලියැවී පවතිනු ඇති.

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *