කෙසෙල්බද්දර පද්මේ ගැන තවත් අලුත් ආරංචියක් තමයි මේ කියන්න හදන්නේ…
ඩුබායි හි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේ නමැති අපරාධකරු යටතේ හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පාතාල කණ්ඩායමක් සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ, ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන‍් අත්අඩංගුවට ගත් හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයී.
හමුදාවෙන් පළාගිය ඇතැම් කමාන්ඩෝ සාමාජිකයින් පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ වී සිදු කරන මනුෂ්‍ය ඝාතන පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුවුණේ ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් පසු හෙළි වූ කරුණු අනුවයි.
ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස කමාන්ඩෝ සමිඳු නමැත්තා යොදා ගෙන තිබූ අතර ඩුබායි හි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේගේ පාතාල කණ්ඩායම සමග සම්බන්ධව කටයුතු කරන මාලදිවයිනේ සිටින කමාන්ඩෝ සලින්ත නමැත්තෙකු විසින් එම ඝාතනය සැලසුම් කර තිබුණා.
කමාන්ඩෝ සලින්ත විසින් වෙඩික්කරු තෝරාගැනීමේ මෙහෙයුම කමාන්ඩෝ යොහාන් හෙවත් යෝ යෝ නමැත්තාට පවරා තිබූ අතර, ඒ අනුව කමාන්ඩෝ සමිඳු සම්බන්ධ කරගෙන ඇත්තේ යෝ යෝ විසින් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
ඒ, සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස හඳුන්වන ඉෂාරා සෙව්වන්දිගේ දුරකථන දත්ත ඔස්සේ කළ විමර්ශනවලදීයී.
සංජීව ඝාතනයට පෙර දින එනම් පෙබරවාරි 18 වැනිදා සෙව්වන්දි විසින් එකම දුරකථන අංකයට අවස්ථා කිහිපයකදී ඇමතුම් ලබා ගෙන තිබූ අතර එම දුරකථන දත්ත ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කළා.
තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක් විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබුවේ ඒ අනුවයි.
එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පුද්ගලයා ද පළා ආ කමාන්ඩෝ සාමාජිකයෙකු බවත්, සේවා කාලය තුළ “වෙන්ටා” යන නමින් ඔහු හඳුන්වා ඇති බවත් පොලිසිය අනාවරණය කරගත්තා.
කමාන්ඩෝ බළකායේ සිටි දක්ෂ වෙඩික්කරුවෙකු වන “වෙන්ටා” අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිවූවෙකු වන අතර සෙව්වන්දි දුන් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ කරුණු හෙළිකර තිබෙනවා
”සර්. ඔය කියන සෙව්වන්දි සංජීව ඝාතනයට කලින් දවසේ රෑ මට කතා කළා.එයා අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු කෙනෙක්. මට කතා කරලා අයිස් ඉල්ලුවා. එයාට අයිස් දෙන්න කියලා සලින්ත තමයි කිව්වේ.”
වෙන්ටා නමැති මෙම හිටපු කමාන්ඩෝ සාමාජිකයා කෙසෙල්බද්දර පද්මේ සතු කමාන්ඩෝ බළකාය පිළිබඳවත් තවත් කරුණු පොලිසිය හමුවේ අනාවරණ කර තිබෙනවා.
”සර්. කෙසෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත එක්ව ඝාතන සඳහා වෙනම කණ්ඩායමක් හදාගෙන ඉන්නේ. ඒකේ වැඩි හරියක් ඉන්නේ කමාන්ඩෝ බළකායෙන් පැනලා ගිය අය. ඒ අය ගොඩ දෙනෙක් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. ඔවුන්ට කමාන්ඩෝ සලින්ත නොමිලේ අයිස් දීලා තියාගෙන ඉන්නවා. ඒ වගේම ඒ අයට ඕනේ සල්ලිත් දෙනවා. සංජීවට ගැහුවා වගේ ගේම්වලට එයාලාව දානවා. අයිස් පැකට් එකට ඕන දෙයක් කරන අය එතැන ඉන්නේ.”
කමාන්ඩෝ බළකායෙන් පළා ආ කමාන්ඩෝ යෝ යෝ වැනි තවත් ප්‍රබල වෙඩික්කරුවන් රැසක් කෙසෙල්බද්දර පද්මේගේ පාතාල කණ්ඩායමට සම්බන්ධව කටයුතු කරන බව වෙන්ටා විසින් වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
වෙන්ටා හෙළි කළ කරුණු ඔස්සේ විමර්ශන ආරම්භ කළ නිලධාරීන් යෝ යෝ නමැත්තා නේපාලය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී පසුගියදා අත්අඩංගුවට ගත්තා.
28 හැවිරිදි කොමාන්ඩෝ යෝ යෝ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වසර කිහිපයක සිටම කමාන්ඩෝ සලින්තගේ සමීපතමයෙකු ලෙස කටයුතු කරමින් කෙසෙල්බද්දර පද්මේගේ පාතාල කණ්ඩායමට එක්ව කටයුතු කරන අයෙක් බව විමර්ශන නිලධාරීන් එහිදී අනාවරණ කරගත්තා.
“සර්..මට දවසකට රුපියල් 10,000 වගේ අයිස් ඕනේ. මට අයිස් එවන්නේ මැලේසියාවේ ඉන්න සලින්ත. සල්ලි ඕනේ වුණාමත් දෙනවා. ඒවට හරි යන්න ඕනම දෙයක් කරනවා.” යනුවෙන් ඔහු පොලිස් නිලධාරීන්ට පවසා තිබුණා.
තමන් නේපාලය බලා පිටත්ව යෑමට හේතුව ද ඔහු මෙලෙස අනාවරණ කර තිබුණා.
“සර්.. කමාන්ඩෝ සලින්ත මට තවත් කේස් එකක් භාරදුන්නා. ඒක මෙහේ නෙවෙයි නේපාලයේ.සලින්තගේ අම්මයි නංගියි ඉන්නේ එහේ. එහේ ඉන්න මිනිහෙක්ගෙන් එයාලට කරදරයි. ඉවරයක් කරලා දෙන්න කියලා සලින්ත මට කිව්වා. මම ඒකට යන්න තමයි ගියේ.”
මෙවැනි පසුබිමක දැනට සේවයේ සිටින සහ සේවයෙන් පළාගිය කමාන්ඩෝ සාමාජිකයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න,පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ද මැදිහත්වීමෙන් මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකෙරෙනවා
Hiru News