මෙරට මුහුණ දුන් අනපේක්ෂිත ආර්ථික අර්බුදය හමුවේ ඉහළ ගිය උද්ධමනයට සාපේක්ෂව ඉහළ නොගිය තම වැටුප් සම්බන්ධයෙන් කලකිරුණු බොහෝ දෙනෙක් ඩුබායි ගියේ වැඩි වැටුපකට රැකියාවක් බලාපොරොත්තුවෙනි.නමුත් අවසානයේ බොහෝ දෙනෙකුට සිදු වූයේ අල්ලපු අත්ත සහ පය ගහපු අත්ත යන දෙකම අහිමි වීමය. ඩුබායි යනුවෙන් බොහෝ දෙනෙක් ව්‍යවහාර කරන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ප්‍රධාන නගරයකි. එක්සත් අරාබි එමිර් රජ්‍යය යනු මැද පෙරදිග පිහිටි සාපේක්ෂව කුඩා රජ්‍යයකි. එය සෞදි අරාබිය, කටාර් සහ ඕමාන් යන අරාබි රාජ්‍යයන්ට මැදිව අරාබි මුහුදට මුහුණාලා පිහිටා ඇති රාජ්‍යයකි. සියලු දෙනාගෙම අවබෝධය පහසුව පිණිස ලිපිය පුරාවට එක්සත් අරාබි ඒමිර් රාජ්‍යය ඩුබායි යනුවෙන් මම මෙතැන් සිට සඳහන් කරමි.
මෙම කාලපයේ බොහෝමයක් රාජ්‍යයන් මෙන්ම ඩුබායි රාජ්‍යයේද ආර්ථිකය රඳා පවතින්නේ බොර තෙල් සහා ස්වභාවික වායු අපනයන මතය. එසේම ඩුබායි රාජ්‍යය වර්තමානය වන විට සංචාරක කර්මාන්තය හරහාද විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රැස්කර ගැනීම සිදු කරයි. මීට අමතරව ජාත්‍යන්තර භාණ්ඩ සහා සේවා ලබා දෙන ආයතන රාශියක් ඩුබායි රාජ්‍යය තුළ තම මෙහෙයුම් කටයුතු සිදු කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව ඩුබායි රාජ්‍යය වාර්ෂිකව සියයට හතරත් පහත් අතර ප්‍රමාණයකින් ආර්ථිකය වර්ධනයක් අපේක්ෂා කළ හැකි රාජ්‍යයකි. ඒ අනුව වාර්ෂිකව ඩුබායි රාජ්‍යය තුළ නව රැකියා අවස්ථාව රාශියක් නිර්මාණය වේ. ඩුබායි රාජ්‍යය තුළ රැකියාවන්වල නිරත වන බොහෝමයක් දෙනා ඉන්දියානු උප මහද්වීපික කාලපයේ රාජ්‍යවල ශ්රමිකයන්ය. මීට අමතරව පිලිපීනය සහා අප්‍රිකානු රටවලින්ද ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් ඒ රාජ්‍යයේ රැකියාවල නිරත වෙයි. ඩුබායි රාජ්‍යය ඉස්ලාමීය නායකයන් පාලනය කළද ශරියා නීතිය ක්‍රියාත්මක නොවේ. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ප්‍රධාන නගරයන් කිහිපයක් තිබේ. ඒ
1 ඩුබායි.
2 අබුඩාබි
3 සහජා යි.
මෙවැනි රටකට ගොස් කෙනෙකුගේ අනාගත ජීවිතය සාර්ථක කරගැනීමට නොහැකි වන්නේ ඇයි?
ඩුබායි රටට යන බොහෝ දෙනෙක් මෙරටින් පිටත් වන්නේ සංචාරක වීසා මතය. සංචාරක වීසා පහසුකම කිසිවකුට නිකුත් කරන්නේ ඉතාම කෙටි කාලයකටය. ඔබ රැකියාවක් අපේක්ෂාවෙන් ඩුබායි රටට සංචාරයක වීසා පහසුකම් මත යන්නෙ නම්
ඉතාම කෙටි කාලයකින් රැකියාවක් සොයා ගැනීමට කටයුතු කළ යුතුය. එමෙන්ම ප්‍රමාණවත් මුදලක් අතේ තබා ගත යුතුය. එරටදී රැකියාවකට ප්‍රවේශ වීමට පෙර ඔබට නවාතැන් පහසුකම් සපයා ගැනීමට අවශ්‍යවේ. ආහාර සපයා ගැනීමට අවශ්‍ය වේ. ඩුබායි රාජ්‍යයේ සාමාන්‍ය ඇඳක් සහිත නවාතැනක් ලබා ගැනීමට මෙරට මුදලින් මාසිකව රුපියල් තිස් දහසක් හතළිස් දහසක් අතර මුදලක් වැය වේ. මීට අමතරව ගමනා ගමන වියදම් ඔබ දරා ගත යුතුය. කෑම බීම සඳහා සැලකිය යුතු මුදලක් ඔබට වැය කිරීමට සිදුවේ. වෛද්‍ය පහසුකම්ද ඔබ විසින් සපයා ගත යුතුය. ඔබ සංචාරක වීසා පහසුකම මත විදේශ ගත වන්නේ නම් සංචාරක රක්ෂණයක් මෙරට තුළදී ලබා ගෙන යෑම වැදගත්ය.
සංචාරක වීසා මත ඩුබායි වෙත යන ඔබට රැකියාවක් සොයා ගැනීමට පියවරයන් කිහිපයක් ඩුබායි තුළ පවතියි.
ඩුබායි රාජ්‍යය තුළ රැකියා විශාල ප්‍රමාණයක් පවතියි. නමුත් රැකියා සඳහා විශාල තරගයක් පවතියි. ඔබ ඩුබායි රාජ්‍යයට පිවිසීමෙන් පසු පුවත් පත් දැන්වීම් හරහා රැකියා ඇබෑර්තු සම්බන්ධයෙන් දැනගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණුදීමට යෑමට හැකිය. එසේම අන්තර්ජාලයේදී විවිධ රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් දැන්වීම් පළකර ඇති අතර ඒ සඳහා සෘජුවම ගොස් සම්මුඛ පරික්ෂණය සඳහා සහභාගි වීමේ හැකියාව පවතියි. මෙරටදී ඔබ වගකීමක් සහිත රැකියා නියෝජිත ආයතනයක් සමග සම්බන්ධ වී සංචාරක වීසා පහසුකම මත හෝ ඩුබායි වෙත ගියත් ඔවුන් මැදිහත් වී ඔබට ඉතාම කෙටි දිනකින් රැකියාවක් සොයා දීම සිදු කර දීම කළ හැකි බවද පැවසිය යුතුය.
ඔබ කුමන හෝ අයුරකින් ඩුබායි රාජ්‍යය තුළ රැකියාවක් ලබා ගැනීම සිදුකරගත් පසු ඔබට ඒ ආයතන සමග තම වැටුප් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකිය. ඩුබායි හි කම්කරු වෘත්තීකයන් සඳහා වර්තමානය වන විට දළ වශයෙන් ඩිරාම් දහසක් එක්දහස් පන්සියක් වැනි මුදලක් ගෙවීම සිදු කරයි. පෞද්ගලික ආරක්ෂක අංශය වැනි වෘත්තියකට දළ වශයෙන් ඩිරාම් එක්දහස් පන්සියක් දෙදහසක් වැනි මුදලක් ගෙවීම සිදු කරයි. යතුරු පැදි ධාවකයන්ට දළ වශයෙන් ඩිරාම් දෙදහසක් දෙදහස් පන්සියක් වැනි මුදලක් ගෙවීම සිදු කරයි.
ඔබ සංචාරක වීසා පහසුකම මත ඩුබායි වෙත ගොස් රැකියාවකට සුදුසුකම් ලබා ගෙන රැකියා වීසා පහසුකම්ක් ලබා ගත් විට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණු දීමට සිදුවේ. එය බොහෝ විට ඔබට රැකියාව ලබා දුන් ආයතනය මගින් කරයි. ඒ සඳහා නැතිනම් වෛද්‍ය සහතික ගැනීම තමන් විසින් කර ගත යුතුය. ඒ සඳහා වන වියදම තමා විසින් දරාගත යුතුය. යම් හෙයකින් වෛද්‍ය වර්තාවල ගැටලුවක් පවතී නම් ඔබට රැකියා වීසා පහසුකම් හිමි නොවේ. කෙසේ හෝ ඔබගේ වෛද්‍ය වාර්තාවල ගැටලුවක් ඇති නොවී ඔබට රැකියා වීසා පහසුකම හිමිවීමෙන් අනතුරුව ඔබ ඩුබායි රාජ්‍යයෙන් පිටත්ව ගොස් නැවත ඩුබායි වෙත පැමිණිය යුතුය. මෙහිදී සිදුවන්නෙ එරට පවතින ආගමන විගමන නීතිය ක්‍රියාත්මක වීමයි. එනම් ඩුබායි රාජ්‍යයේ සංචාරය කිරීමට පැමිණෙන අයෙකුට එරටදී රැකියාවක් ලබාදීම නීත්‍යනුකූල ක්‍රියාවලියක් නොවේ. ඒ අනුව ඩුබායි සංචාරක වීසා පහසුකම මගින් විදේශ ගත වූවන් රැකියාවක් ලැබීමෙන් අනතුරුව අසල පිහිටි ඕමානයට හෝ නැවත වරක් ලංකාවට පැමිණ දිනයක් ඇතුළත ඩුබායි වෙත යෑම සිදු කළ යුතුය. ඒ අනුව ඒ ගුවන් ගමන් වියදම්ද ඔබ විසින් දරා ගත යුතුය. ඒ අනුව ඩුබායි රාජ්‍යය තුළ රැකියාවක් හිමිකර ගැනීමේ ක්‍රියාවලිය ඒ අයුරින් පැහැදිලි කරගත හැකිය.
තාක්ෂණය, සේවා, සංචාරයක වැනි අංශවල ඉතා ඉහළ වැටුප් සහිත, වෘත්තීයමය භාවය ඉතා ඉහළ රැකියා අවස්ථා ඩුබායි තුළ පවතියි. නමුත් එසේ රැකියාවක් ලබා ගැනීම අසීරුය. එයට හේතුව ඩුබායි රාජ්‍යයේ බොහෝ ආයතනවල රාජකාරි කරන ඉහළ විධායක ශ්‍රේණියේ උදවිය ඉන්දියානුවන් වීමයි. ඔවුන් රැකියාවක් ලබා දීමෙදී ඉන්දියානුවන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම එයට හේතුවයි.
ඩුබායි රාජ්‍යයේ වැටුප් ලංකාවේ මුදල් ඒකකයට පරිවර්තනය කළ විට කම්කරු රුකියාවක නිරත වන අයෙකුට දළ වශයෙන් රුපියල් අසූදහසක වැනි මුදලක් හිමිකර ගත හැකිය. ඒ අනුව ඔබට අදාළ ආයතනය විසින් නවාතැන් පහසුකම් සපයා දුන්නත් ආහාර සඳහා මාසිකව ඩිරාම් හාරසියක් එනම් මෙරට මුදලින් රුපියල් තිස්දහසක් හතළිස් දහසක් වැනි මුදලක් ගෙවීමට සිදුවේ. ඔබ දරුවන් සිටින විවාහක අයෙක් නම් එවැනි වැටුපක් ඩුබායි රට තුළදී ලබා ගෙන යම් මුදලක් ඉතිරිකර මෙරට සිටින ඔබගේ ආදරණීයන්ට යැවීම විශාල අභියෝගයක් බවට පත් වේ. මීට අමතරව ඔබට යම් වෛද්‍ය පහසුකමක් ලබා ගැනීමට සිදුවුවහොත් මාසික වියදම ආවරණය කිරීම සඳහාවත් ඔබගේ වැටුප් ප්‍රමාණවත් නොවෙනු ඇත. ඩුබායි රාජ්‍ය තුළ මෙවැනි වාතාවරණයක සේවය කිරීම සාපේක්ෂව මෙරට තුළදී ලැබෙන වැටුපෙන් ඔබට ඔබගේ පවුලේ උදවිය සමග ජීවිත් විය හැකිය. නමුත් ඔබ මේ සියලු අපහසුතා මැද වසර කිහිපයක් ඩුබායි හි සේවය කරන්නට වුවහොත් ඔබට රැකියාවේ පලපුරුද්ද මත රැකියාවේ උසස්වීම් ලැබ ඉහළ වැටුපකට යාමට හැකිය.
ප්‍රභාත් වික්‍රමසිංහ