Thu. Jan 23rd, 2025

වී කිලෝව 150යි – සහල් පාලන මිල 275 කරන්නැයි මෝල් හිමියෝ කියති

වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් ගොවීන් ඉල්ලා සිටිය ද මෙම මුදලට වී ලබාගෙන දැනට පවතින පාලන මිලට සහල් ලබා දිය නොහැකි බව කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ සඳහන් කරති.

මේ වන විට බොහෝ ප්‍රදේශ වල වී කිලෝවක මිල රුපියල් 145 දක්වා ඉහළ ගොස් තිබෙන නිසා සහල් කිලෝවක පාලන මිල රුපියල් 270 – 275 දක්වා ඉහළ දැමිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

රුපියල් 150 කට වී මිලදී ගැනීමට කටයුතු කළහොත් සහල් කිලෝවක මිල රුපියල් 280 ක් බවට පත් කළ යුතු බවත් වී කිලෝවකට රුපියල් 150 ක් නොලැබෙන නිසා බොහෝ ප්‍රදේශවල ගොවින් වී ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් මෝල් හිමියෝ කියති.

පසුගිය කන්න වල ලැබුණු අස්වැන්නෙන් කොටසක් ගොවීන් හා අතරමැදියන් සතුව පවතින බව ඔවුන්ගේ අදහසයි.

මෙම තොග මෝල්වලට නොලැබුණහොත් ජනවාරි මාසයේ දෙවැනි සතිය වන විට දැනට පවතින සහල් හිඟය තවදුරටත් උග්‍ර වන අතර සහල් ආනයනය කිරීමේ සැලසුම් අනුව අපේක්ෂිත ආකාරයට පසුගිය දිනවල සහල් තොග ලැබී නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ නිසා ගොවි ජනතාව ද තමන්ගේ අස්වැන්නට වැඩි මිලක් ඉල්ලා වී තොග වෙළෙඳ පොළට නිකුත් කිරීම සීමා කර තිබේ.

දැනට වී තොග පවතින්නේ ආර්ථික මට්ටම ශක්තිමත් ගොවීන් සතුව වන නිසා ඉල්ලා සිටින මුදල ලැබෙන තෙක් වී තොග රඳවා ගෙන සිටීමේ හැකියාව එම ගොවීන්ට ඇත.

පසුගිය 09 වැනි දින ප්‍රකාශයට පත් සහල් පාලන මිල තීරණය කර තිබෙන්නේ වී කිලෝවක මිල රුපියල් 120 රුපියල් – 130 අතර මුදලකට මිලදී ගනිමින් තිබියදී වුවද ගොවින් විසින් තමන්ගේ වී තොග ලබාදීම සඳහා මේ වන විට ඉහළ මිලක් ඉල්ලා සිටින බව මෝල් හිමියෝ කියති.

දෛනිකව සහල් කිලෝ ලක්ෂ 60 ලක්ෂ 65 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මෙම සහල් තොග වලින් සියයට පනහක් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් හා ඉතිරි කොටස මහා පරිමාණ මෝල් හිමියන් හා විදේශ රටවලින් සහල් ගෙන්වන ව්‍යාපාරිකයන් විසින් ලබා දෙන බවත් වී තොග නොමැති නිසා මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් 300කට වැඩි ප්‍රමාණයක කටයුතු අඩපණ වී තිබෙන බවත් ඔවුහු සඳහන් කරති.

මේ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් දෛනිකව වෙළෙඳ පොළට නිකුත් කරන සහල් ප්‍රමාණය අඩුවෙමින් පවතී.

විශාල වී තොගයක් එකවර ගබඩා කිරීමට මුදලක් නොමැති නිසා දෛනිකව වී මිලදීගෙන සහල් බවට පත් කර වෙළෙඳ පොළට නිකුත් කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ පවසති.

– ඉන්දික හේවාවිතාරණ

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *