පාර්ලිමේන්තුවේ ප්‍රථම සභාවාරය 03 උදෑසන ආරම්භ වීමෙන් පසු සුපුරුදු පරිදිම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැරදි දේශපාලන සටන් පාඨ අතට ගනිමින් පසුගියදා මහවිරු උත්සවයන් දඩමීමා කරගෙන ජාතිවාදය වැපිරවීමට සමාජ මාධ්‍ය භාවිතා කළ පුද්ගලයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීම නව ආණ්ඩුව විසින් භාෂනයේ සහ ප්රකාශනයේ නිදහස මර්දනය කිරීමක් සේ සලකමින් කතාවක් කෙළේ ය. ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවේ දී ඔහු ද ලඟ තබා ගනිමින් විවිධ පුද්ගලයන් විවිධ සිවුරුකාරයන් අමු අමුවේ ජාතිවාදය ආගමික අන්තවාදය වැපිරීම අනුමත කරමින් ක්‍රියා කළ සජිත් ප්‍රේමදාසට ජාතිවාදය ආගමික අන්තවාදය ප්රජාතන්ත්රවාදයේ කොටසක් සේ පෙනීම ගැන පුදුම විය යුතු නැතත්, රටේ ඇති වී තිබෙන නව ප්රවනතාව එය නොව ජාතික සමගියේ දිශාව බව තේරුම් ගැනීමට නොහැකි දේශපාලන මුග්ධයෙකු බව ඔහු අද දිනයේ ද ඔප්පු කෙළේ ය.
කෙසේ වෙතත් සජිත්ගේ ප්‍රකාශයට හැරෙන තැපෑලෙන්ම කණ කිස්කන පිළිතුරක් දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සභාවේ අත්පොලසන් මධ්‍යයේ කියා සිටියේ ආණ්ඩුවක් හැටියට ජාතිවාදයට නම් යළි කිසිසේත් ඔළුව උස්සන්න නම් දෙන්නේ නැති බවත්, ඒ සඳහා මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලුත් පනත් ගෙනත් හරි ජාතිවාදය නතර කිරීමට කටයුතු කරන බවයි. නලින්ද ජයතිස්ස වැඩි දුරටත් මෙසේ ද කියා සිටියේ ය.
“කතානායක තුමනි, දැන් මේගොල්ලන්ගේ මේ සිහින රාජ්‍යය සුනු විසුනු වෙලා තියෙන්නේ. බැලුවා ඡන්දෙදි අපිට බලය නොදී ඉන්න පුළුවන්ද කියලා, බහුතරය නොදී ඉන්න පුළුවන්ද කියලා බැලුවා, ඒ ඔක්කොම කරලා බැරි වෙච්චි තැන දැන් අල්ලගෙන තියනවා මේ රට විනාස කරන ජාතිවාදී මාවතේ යළි ගමන් කරන්න. මං මේ වෙලාවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය උපුටා දක්වන්න කැමතියි.
“අපිට දේශපාලන වශයෙන් විවිධ මති මතාන්තර දරන්න පුළුවන්. හැබැයි මම ඔබට එක කාරනයක් වගකීමෙන් කියනවා. අපේ රටේ ජාතිවාදී දේශපාලනයට යලි ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයකට යලි හිස ඔසවන්න දෙන්නේ නෑ. මොකද, අපි ඇති තරමට ජාතිවාදී ගැටුම් වලින් පීඩාවට පත් වූ ජනතාවක්.”
මං ඔබ තුමාලට දැන් කියන්න කැමතියි, අපි ජාතිවාදය ගැන හොඳට අත්දැකීම් තියෙන රටක්නේ, තමුන්නාන්සේලා හොඳට කල්පනා කරලා හෘද සාක්කියට තට්ටු කරලා බලන්න, පහුගිය මැතිවරණයේ දී ත් අපිට විරුද්ධව ජාතිවාදය, ආගමික අන්තවාදය මොන මොන ආකාරයට පාවිච්චි කරන්න උත්සාහ කළා ද කියලා. දැන් මෙතන ඉන්න කාටවත් පහුගිය කාලේ පන්සල් යන්න බැරිවුනා ද? පල්ලි යන්න බැරිවුනා ද? යාඥා කරන්න බැරිවුනා ද ? කුරානය කියන්න බැරිවුනා ද? ධම්ම පදය කියන්න බැරිවුනා ද? කෝවිල් යන්න බැරිවුනා ද? කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ. හැබැයි මැතිවරණ කාලයේ දි දැනුවත්ව, දැනුවත්ව බොරු කිව්වා අපි ආවොත් එහෙම කරන්න බැරි වෙයි කියලා. දැන් ඔය ලස්සනට කරගෙන යන්නේ ඒවා ටික. එපමණක් නොවෙයි මෙතන ඉන්න සමහර මන්ත්‍රීවරු කිව්වා අපි ආවොත් එහෙම පෙරහැර කරගන්න බැරි වෙයි කියලා. මතකද? එහෙම කට්ටිය තමයි දැන් මේ යලිත් ජාතිවාදය අවුස්සමින් මේ රට විනාස කරන්න හදන්නේ.
ගරු කතානායක තුමනි,
ගරු අග්‍රාමාත්‍ය තුමියත් කිව්වා, අපි ආණ්ඩුවක් හැටියට ජාතිවාදයට නම් යළි කිසිසේත් ඔළුව උස්සන්න නම් දෙන්නේ නෑ. (සභාවේ අත්පොලසන්) ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලුත් පනත් ගෙනත් හරි ජාතිවාදය නතර කරන්න අපි කටයුතු කරනවා. (සභාවේ යළිත් අත්පොලසන්) හොඳට බලන්න මේ ජාතිවාදී ප්‍රකාශ වල එල්ලී ඉන්නේ කව්ද? මං එක්කෙනෙක් කියන්නම්. පොදු ජන එක්සත් පෙරමුණේ පාලන ලේකම් වරයා. එයාගේ ෆේස් බුක් එකට ගිහිල්ලා බලන්න. වීඩියෝ දාල තියෙනවා කොටි ලාංඡන ප්‍රවර්ධනය කරන විදිහට. හරිද?
තව එක්කෙනෙක් කෝට්ටේ යූඇන්පී නාගරික මන්ත්‍රීතුමිය. මං හිතන්නේ එයා ලංකාවේ නෑ. ලංකාවේ නැතුව ඉඳිමින්, අන්න එයාගේ ෆේස්බුක් එකට ගිහින් බලන්න. ටික් ටොක් එකට ගිහිල්ලා බලන්න. ඒගොල්ලෝ තමයි දැනුවත්ව මේ වැඩේ කරමින් ඉන්නේ.
ඒ නිසා මේ අත් අඩංගුවට ගැනීම් කරලා තියෙන්නේ, පොලිසිය විමර්ශනය කරලා. මොන නීතියෙන්ද අධිකරණයට ඉදිරිපත් කරන්නේ කියලා පොලිසිය තීන්දු කරයි. අපි භාෂනය, ප්රකාශනය, ප්රජාතන්ත්රවාදයට ගරු කරනවා. අපිට විරුද්ධව, ජනාධිපතිතුමාට විරුද්ධව, අගමැතිතුමියට විරුද්ධව, අපේ මේ හැම දෙනාටම විරුද්ධව ඔබතුමාලා අපහාස කරලා ඇති. ඒවා ප්‍රශ්නයක් නෑ. අපිට නැති දේවල් කියලා ඇති. කමක් නෑ. හැබැයි මතක තියාගන්න, දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය පාවිච්චි කරන්න එපා. ඔබතුමාලා දන්න අය මේවා පාවිච්චි කරන්නේ. සමහර අය මේ ඡන්දේ ඉල්ලපු අය. සමහරු සිලින්ඩරයෙන් ඡන්දේ ඉල්ලන්න සූදානම් වෙලා හිටපු අය. එහෙම අය තමයි තමන්ගේ ෆේස් බුක් එකේ, ටික්ටොක් එකේ, සමාජ මාධ්‍ය ගිණුම් වල මේ වගේ දේවල් කරමින් ඉන්නේ. ඒකට ඉඩ දෙන්න බෑ, කතානායක තුමනි. ඒකට ඉඩ දෙන්න බෑ.
කෙනෙක් මේක ත්‍රස්තවාදී සංවිධාන ප්‍රවර්ධනය කරන අරමුණින් කරනවා. 2011 අගෝස්තු 29 එවකට ආණ්ඩුව ගහපු ගැසට් එකක් තියෙනවා ත්‍රස්තවාදී සංවිධාන වල ලාංඡන, කොඩි, පතාක ප්‍රවර්ධනය තහනම් කරලා. හැබැයි මං ඔය කියපු කට්ටියගේ ගිණුම් වලට ගිහිල්ලා බලන්නකෝ. ඒ ගොල්ලෝ තමයි එල්ටීටීඊ කොඩිය ප්‍රචාරය කරලා තියෙන්නේ. ඒ ලාංඡනය ප්‍රචාරය කරලා තියෙන්නේ. අන්න ඒ අයට එරෙහිව තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා කිසිසේත්ම, කිසිම ආකාරයකට ජාතිවාදය යළි හිස ඔසවන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ, ජාතිවාදය දඩමීමා කරගෙන අපේ රටේ දේශපාලනය කරන්නත් අවස්ථාවක් අපි ඉඩ හදන්නේ නෑ කියලා මතක තියාගන්න.
කරුණාකරලා මේ ජනවරම තේරුම් ගන්න. ලංකාවේ සිතියම පාට වුනේ මේ මැතිවරණයෙන් පස්සේ වෙන ආකාරයකට. වෙනදා හැමදාම මෙහෙම පාට වුනේ නෑ. හැමදාම බෙදිලා පාට වුනේ. හැබැයි වෙ විදිහකට පාට වුනා. අන්න ඒ ජනවරමට ගරු කරමින් තමයි අපි ඉදිරියට යන්නේ ගරු කතානායකතුමනි.
මේ සම්බන්ධයෙන් කාටහරි ප්‍රශ්නයක් තිබෙනවා නම් මහජන ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශයක් කරයි. හැබැයි යළිත් මං ඉල්ලා හිටින්නේ ඒවාට උඩ ගෙඩි දෙන්න එපා. ඔබතුමාලාට ජාතිවාදයෙන් තොරව දේශපාලනය කරන්න පුළුවන්. කරලා බලන්නකෝ. පුළුවන් ඕගොල්ලන්ට කරන්න. ජාතිවාදය පාවිච්චි කරන්න එපා කියලා මං යළිත් කියන්න කැමතියි. ඒ වගේම අපි පැහැදිලිව කියලා තියෙනවා. පවුලේ කෙනෙකු මිය ගිය විට ඒ අය සමරන්න කෙනෙකුට අයිතියක් තියෙනවා. ඉතින් අපි ඒ අයිතිය ලබා දීලා තියෙනවා. ඒ ප්‍රකාශය පවා විකෘති කරලා සමහර ජනමාධ්‍ය වල පළ කරලා තිබුනා, මහජන ආරක්ෂක ඇමැතිවරයා කිව්වා කියලා. එතැනට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා එතැනට යන්න එපා. මං මාධ්‍ය ඇමැතිවරයා හැටියට ඉල්ලන්නේත්, මේ ජනවරම තේරුම් අරගෙන සියළු මාධ්‍ය ඒ අනුව හැසිරෙමු. එහෙම හැසිරෙමු. ජනතාව එතැනට ඇවිල්ලා තියෙනවා නම් මාධ්‍ය වලට එතැනට එන්න බැරිකමක් නෑ. ඔබ අපව පරද්දන්න ඇත්ත විවේචනයන් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඇත්ත විවේචනය කරන්න. අඩුපාඩු පෙන්වා දෙන්න. අපි ඉතාම සංයමයකින් ඒවාට ඇහුම්කන් දෙන්න සූදානම්.”
ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින්,
උපුටා ගැනීම : ලංකා ඊ නිව්ස්