විසි වසරකට පෙර ගොඩබිමට කඩාවැදුණු රුදුරු ජල කඳ අඳුරු කළ ජීවිත තවමත් ඒ වේදනා සඟවාගෙන ජීවත් වෙමින් සිටියි.
එහෙත් දෛවයට අභියෝග කරමින් නැගී සිටි ජීවිත නැතුවාම නොවේ.
සුනාමිය උදුරාගත් සිය මව් සෙනෙහස කිසිදිනෙක යළි නොලැබුණත්, අහිමිවී ගිය අනෙක් දේ ගැන නොතැවී ජීවිතය ජයගත් ශ්‍රී ලංකා රග්බි කාන්තා කණ්ඩායමේ නායිකාව ගැනයි මේ සටහන.
ඉරිදා දිනයත්, පෝය නිවාඩුවත් නිසා බොහෝ දෙනෙක් අදින් වසර 20කට පෙර උදාවූ දෙසැම්බර් 26 වැනිදා උදෑසන නිදහසේ ගතකරමින් සිටි දිනයකි.
අපේ කතාවේ කථානායිකාව රන්දිකා කුමුදුමාලිට එදින නිදහස් දිනයක් විය.
ඇය එදින උදෑසන හික්කඩුවේ සිය නිවසේ වැඩිමල් සහෝදර සහෝදරියන් සමග රූපවාහිනිය නරඹමින් සිටියාය.
ඒ අතරේ ඇයගේ මව තවත් ඥාති දියණියක් සමග හික්කඩුව පොළට ගොස් සිට තිබුණි.
නමුත් කිසිවෙකු හෝ නොසිතු නොවිරූ ලෙසින් ගොඩබිමට කඩාවැදුණු රුදුරු ජල කඳ රන්දිකාගේ මවත්, ඥාති සොහොයුරියත් සඳහටම ඔවුන්ට අහිමි කළහ.
ඒ වනවිට වයස අවුරුදු 14ක් වූ රන්දිකාට එතැන් සිට මවටත් පියාටත් සිටියේ ඇගේ පියා වන රංජිත් ධනසිංහ මහතා පමණි.
එදින පොළට ගිය මව යළි කිසිදු දිනක නොදැක්කත්, එතැන් සිට ලැබුණු කුමන හෝ අභියෝගයකට රන්දිකාගේ ගමන නතර කිරීමට නොහැකි විය.
සුනාමි ජල පහරට ඇඳිවත පවා අහිමි වූ රන්දිකා, රග්බි ක්‍රීඩාව තෝරාගත්තාය.
2011 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ ඇය, 2013 වසරේ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට තේරී පත්වූවාය.
වසර කිහිපයකින් මෙරට රග්බි පිටියේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් බවට පත් වූ ඇය 2016 – 2018 කාලසීමාවේ ශ්‍රී ලංකා නායිකාව ද වූවාය.
ඇය වත්මන් ශ්‍රී ලංකා රග්බි කාන්තා කණ්ඩායමේද නායිකාවයි.
“මොන දුක් කම්කටොලු මැද්දෙ වුණත්, මොන ප්‍රශ්නය ආවත් ඒ දේවල් දරාගෙන ජීවිතයේ ඉස්සරහට යන්න. තමන් කවදාවත් වැටෙන්න එපා”.
ඒ…අභියෝග මැද දිරියෙන් නැගී සිටි රන්දිකා ලොවට කී ආදර්ශයයි.