Fri. Mar 14th, 2025

අලුත්කඩේ ඝාතනයට මොහොතකට පෙර වෙඩික්කරු හා කොමාන්ඩෝ සාලින්ත අතර Whatsapp Chat මෙන්න..!

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ කමාන්ඩෝ සමිදු සහ ඔහු පැන යාමට භාවිත කළ වෑන් රථයේ රියැදුරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ බව වැඩබලන පොලිස්ප

ති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා.

මෙම ඝාතනය සිදුකර වෙඩික්කරු පළා ගිය වෑන් රථය සන්තකයේ තබාගත් අතුරුගිරිය පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙකු අද කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අංගුවට ගත්තා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මැදිරියක් තුළ සිටියදී නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගත් පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 19 වැනිදායි.

වෙඩික්කරු KDH වෑන් රථයකින් පළා යමින් සිටියදී පුත්තලම පාලවිය ප්‍ර දේශයේදී පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් විසින් එදිනම පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු වන කමාන්ඩෝ සමිඳු සහ වෑන් රථයේ රියැදුරු වන මොරගහහේන මිල්ලෑව ප්‍ර දේශයේ පදිංචි මහේෂ් සම්පත් යන අය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට වැඩිදුර විමර්ශන සඳහා භාරදුන් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාදුන්නා.

කෙසේ නමුත් ගනේමුල්ලේ සංජීව ඝාතනයට අදාළව සිදුකරණ විමර්ශන සඳහා ඔවුන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ බව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසුවා.

මේ අතර කමාන්ඩෝ සමිඳුගෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ ගිනි අවිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියට රැගෙන එනු ලැබුවේ දැනට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව විසින් බවයි.

මේ අතර ගනේමුල්ලේ සංජීව අධිකරණය තුළදී ඝාතනය කිරීමට පෙර කමාන්ඩෝ සමිඳු විදෙස් රටක සැඟව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කමාන්ඩෝ සලින්ද සමග වට්ස්ඇප් ඔස්සේ පණිවිඩ හුවමාරු කරගෙන තිබෙනවා.

එහිදී වෙඩික්කරු කමාන්ඩෝ සලින්දට “මම ආවා” යනුවෙන් දැනුම් දී ඇති අතර එය සලින්ද විසින් “OK” යනුවෙන් තහවුරු කර තිබුණා.

“මට මෙතන සැටිස් නැහැ. පොලිසියයි STF එකයි ඉන්නවා” යනුවෙන් වෙඩික්කරු තවත් පණිවිඩයක් කමාන්ඩෝ සලින්දට යවා ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස සලින්ද එවා ඇත්තේ “වැඩේ කරන්න”යනුවෙන් පණිවිඩයක්.

මීට අමතරව ඝාතනය සඳහා වෙඩික්කරු කඩුවෙල සිට අලුත්කඩේ අධිකරණය දක්වා පැමිණීමේ සිට ඝාතනයෙන් පසුව පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ අවස්ථාව දක්වා කාලය තුළ ඔවුන් දෙදෙනා අතර වට්ස්ඇප් ඔස්සේ දුරකථන ඇමතුම් 100කට ආසන්න සංඛ්‍යාවක් හුවමාරු වී ඇතැයි ද විමර්ශනවලදී හෙළිව තිබුණා.

සංජීව ඝාතනයෙන් පසු වට්ස්ඇප් ඔස්සේ දීර්ඝ වීඩියෝ ඇමතුමක් ද දෙදෙනා අතර පවත්වා ඇතැයි වාර්තා වනවා.

මේ අතර වෙඩික්කරු පළා යෑමට භාවිත කළ වෑන් රථය සන්තකයේ තබාගත් අතුරුගිරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ හසිත රොෂාන් නමැති පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ ආපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ වෙඩික්කරු හා සැකකාර කාන්තාව පසුගිය 19 වැනිදා කඩුවෙල පිහිටි ලැගුම්හලක සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළ මෝටර් රථයේ රියැදුරු වන දොන් ජනක උදය කුමාර යන සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වූ අතර ඒ සියලු කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය නියෝග කළේ සැකකරුවන් ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර ගනේමුල්ලේ සංජීව බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැගෙන ආ බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ සංජීවට ආරක්ෂාව ලබා දුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද සාක්ෂි සටහන් කර ගත්තා.

 

hiru news

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *