Wed. Jan 22nd, 2025

ඓතිහාසික කතා පුවතකින් ශ්‍රි ලාංකීය සිනමා ක්ෂේත්‍රයට පා තබපු මේ සුරූපිණිය ගැන දැනගන්න ආසයිද ?

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද තිලංග සුමතිපාල නිෂ්පාදනය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා නිර්මාණයේ යශෝධරාගේ චරිතයට පණපෙවූයේ ඉන්දියානු රංගන ශිල්පිනියක් වන හිමාංෂි ජෛන් ය. ශ්‍රී ලාංකීය බෞද්ධයන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් ලෙස සැලකෙන යශෝධරාගේ චරිතය නිරූපණය කිරීම පිළිබඳ හා ඇයගේ ආ ගිය තොරතුරු පිළිබඳ පසුගියදා බුද්ධ මාතා සිනමා පටයේ මංගල දර්ශනයට සහභාගිවීම සඳහා ඇය ලංකාවට පැමිණි මොහොතේ දී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.

⚫ආයුබෝවන් හිමාංෂි ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතිං අපට කියන්නකෝ ඔබ පිළිබඳව සහ ලංකාවට පැමිණියාට පසුව දැනුණ දේ?
හරිම උණුසුම් පිළිගැනීමක් තිබුණේ. ඒ ගැන ගොඩක් සතුටුයි. මා ඇතුළු මාගේ සහෝදර ඉන්දියානු ශිල්පි, ශිල්පිනියන් සියලුදෙනාම සුනිල් සර් ඇතුලු කණ්ඩායම විසින් ඉතාමත් ආදරයෙන් පිළිගත්තා.

⚫මෙය ඔබේ පළමු සිනමා නිර්මාණය ද?
ඔව්. අනිවාර්යයෙන්ම කියන්න බොහෝ දේවල් තියෙනවා. මොකද? මේ මගේ තිරගත වන පළමු චිත්‍රපටය. මේ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. මට අවශ්‍ය වුණා මේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මම මගේ රංගන ජීවිතය තුළ ගොඩක් කැපකිරීම් කරලා රංගනය පිළිබඳව ඉගෙන ගනිමින් බොහොම පරිස්සමෙන් තමයි මේ ගමන යන්නේ. ඔබ දන්වා ඇති රංගන ශිල්පිනියකට තමන්ගේ පළමු සිනමා නිර්මාණය කොතරම් වටිනවාද කියලා. ඒ
ගැන මට සතුටුයි.

⚫රූපගත කිරීම් සිදුකරන කාලේ ඔබ ලැබූ අත්දැකීම් පිළිබඳ කතා කළොත්?
ඇත්තටම අපි බුද්ධ මාතා චිත්‍රපටයේ රූගත කිරීම් කළේ දින 40 ක කාලයක් තුළ. ඒක හරිම ටයිට් ෂෙඩුල් එකක්. අපට පිටස්තර ලෝකයත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණේම නැහැ. මෙහි මිනිසුන්ව ආශ්‍රය කරන්න, ගමන් බිමන් යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද සියලුදෙනා දැඩි කැපවීමෙන් තමයි මේ වැඩේ කළේ. සුනිල් සර්ට සහ තිලංග සර්ට අවශ්‍ය වුණා යොදාගත් කාලසටහනට අනුව සියලු කටයුතු අවසන් කරන්න. ඊට පසුව අපි ලංකාවට එන්නේ හරියටම මාස හයකට විතර පස්සේ. ඒ චිත්‍රපටයේ මංගල දර්ශනයට. චිත්‍රපටය නැරඹුවාට පසුව අපේ මහන්සියේ ප්‍රතිඵල දැකලා හිතට ලොකු සතුටක් දැනුණා.

⚫ඔබ ඔබේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ කොතැනින් ද?
මම ආවේ වේදිකාවෙන්. මම වේදිකා නාට්‍ය ගණනාවකම රඟපාලා තියෙනවා. මගේ ගම දිල්ලි. ඒ වාගේම ජායිපූර් හා රාජාස්ථාන්වල රංගනය කරලා තියෙනවා. මගේ පවුලේ කිසිම කෙනකු කලාවට සම්බන්ධ වෙලා නැහැ. මටත් පොඩි කාලෙ ඉඳලා නටන්න ලොකු ආසාවක් තිබුණා. හැබැයි මට හොඳටම නටන්න බැහැ. මගේ තාත්තාට හොඳට නටන්න පුලුවන්. ඉතිං මම නැටුම් ඉගෙන ගත්තා. ඊට පස්සෙ මම ඉගෙන ගත්ත පාසලේ තිබුණ රූ රැජන තරගයකින් මම ජයගත්තා. අනෙක් දේ තමයි මම හින්දි සිනමාවට පුදුම ආදරයක් තියෙන කෙනෙක්. ඒක ඇත්තටම කිව්වොත් පිස්සුවක් වගේ. රිදී තිරයේ ඒ දකින ආලෝකයන් වර්ණ රටා තුළ සිනමාවේ ඇති චමත්කාරයට මම හැමදාම පෙම් බැන්දා. චිත්‍රපටයක් බලන හැම මොහොතකම මගේ යටිහිත කීවා කවදාහරි දවසක මටත් මේ වගේ වෙන්න තියෙනවානම් කොච්චර හොඳද කියලා.

⚫ඒ වෙනකොට ඔබ ඔබේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ද තිබුණේ?
නැහැ. මම බිස්නස් ස්ටඩි ඩිග්‍රි එක (MB) කරන කාලයේ මම රාජස්ථාන්වල රූ රැජන වුණා. එතකොට මගේ වයස අවු 18 යි. මට මං ගැන ගොඩක් සතුටුයි. මොකද? මේ ගමන මම ආවේ තනියම. බොහෝදෙනකුට වගේ මට ගෝඩ් ෆාදර් කෙනෙක් හිටියේ නැහැ. අද මාව රිදී තිරයේ දකිනකොට මට මං ගැනම ලොකු ආඩම්බරයක් ඇතිවෙනවා.

⚫ඔබ මේ චිත්‍රපටයේ කරන්නේ යශෝධරාගේ චරිතය. නිකමට හරි ඔබට වෙන චරිතයක් ලැබුණා නම් කියලා හිතුණේ නැද්ද?
නැහැ. මම චිත්‍රපටය නරඹන කොට මට තේරුණ දෙයක් තියෙනවා. මේ සිනමා පටයේ මට ගැළපෙනම චරිතය තමයි යශෝධරා කියලා. එහි ගෞරවය හිමිවෙන්න ඕනෑ මාව මේ චරිතයට තෝරාගත් පිරිසට.

⚫ඔබ මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනකොට යශෝධරා ගැන යම් දැනුමක් තිබුණා ද?
අවංකවම නැහැ. මම බුදුන්වහන්සේ ගැන දැනගෙන හිටියා. මොකද? පාසලේ දී අපට බුදු දහම උගන්වලා තිබුණා. ඒ හැර වෙන දෙයක් දැනගෙන හිටියේ නැහැ. බුද්ධාගම පිළිබඳ හරිම අඩුම දැනීමක් තිබුණේ. අපි ජෛන ආගමේ එහි බුදු දහම එක්ක පුංචි සම්බන්ධයක් තිබුණා කියලා මම හිතනවා.

⚫පිටපත කියවලා ඉවර වුණාට පස්සේ කොහොමද මේ චරිතයට ප්‍රවිශ්ට වුණේ?
මම යශෝධරා ගැන මොකුත්ම දැනගෙන හිටියේ නැති වුණාට රංගන ශිල්පිනියක් විදියට මම හිතාගත්තා මේ චරිතය කොහොම හරි හොඳින්ම කරනවා කියලා. ප්‍රථමයෙන්ම රූපගත කළේ මට රාහුල හම්බවෙන්න ඉන්න අතරේ යන ගීතය. ඒ වේලාවේ මට ලොකු ශක්තියක් ලැබුණා වගේ දැනුණා. වේෂ නිරූපණය කරලා සෙට් එකට ගියාම ඒ දර්ශන තලයේ තිබුණ ලස්සන දැකලා මට හරි ආසාවක් ඇති වුණා. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ඔබට තව දෙයක් කියන්න කැමැතියි. සුනිල් සර් කියන්නේ හොඳම අධ්‍යක්ෂකවරයෙක්. අපිට පිටපතේ තියන දේ කියලදීලා අපි රඟපෑවට, මේ නිර්මාණය දකිනකොට තමයි අපිට හිතෙන්නේ ඔහු විසින් අපගේ දර්ශන කොච්චර ලස්සනට රූගත කරලා තියෙනවා ද කියලා. ඒ අරන් තිබුණ කැමරා කෝණ තුළින් ඔහු තුළ චිත්‍රපටය පිළිබඳ තිබූ දැක්ම ඒ ලෙසම රූගත කරලා තිබුණා. අනෙක් එක අපි සියලුදෙනාම හරිම ලස්සනයි.

⚫මේ චිත්‍රපටයේ ඔබත් එක්ක ඉන්දීය රංගන ශිල්පි, ශිල්පිනියන් කිහිපදෙනෙක්ම වැඩ කළා. ඔවුන් සමග එකට වැඩ කරන්න ලැබුණ එක වාසියක් වුණා ද? විශේෂයෙන් ඔබ සියලුදෙනාම එකම භාෂාවක් හසුරුවන නිසා රංගනයේදී අදහස් හුවමාරු කරගන්නට පහසු වෙන්න ඇති නේද?
ඔව්. විශේෂයෙන්ම පාල්ගුණි එක්ක වැඩකරද්දී, ඇය මවගේ චරිතය හා මම ලේලියගේ චරිතය කරන්නේ. ඇත්තටම අප දෙදෙනා එකට රඟපාන හැම අවස්ථාවකදීම රංගනයේ යෙදෙන්නට මට හරිම පහසු වුණා. ඔබ බලන්න අපේ අයි කන්ටෑක් සහ ආංගික අභිනයන්, බොහෝම ප්‍රබලව පාවිච්චි කළා. මම හිතනවා ඒක සාර්ථකයි කියලා.

⚫මේ චිත්‍රපට රඟපානකොට ඔබට මොනවා හරි අමතක නොවන සිදුවීම් තිබෙනවා ද?
ඔව්. මම මේ චිත්‍රපටයේ රඟපානකොට අසනීප වුණා. මගේ ෂුගර් ලෙවල් එක ගොඩාක් පහළ ගියා. පසුව මාව රෝහල්ගත කළා. මම පැය ගණනාවක් රෝහලේ ඉඳලා තමයි ආපහු ගියේ. නමුත් මට තේරුණා මේ චරිතය රඟපාන්න ගන්න වෙලාවේ ඉඳලා මට අමුතු ශක්තියක් ලැබුණා වගේ කියලා. මං හිතනවා මට දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්න ඇති කියලා.

⚫ඔබත් එකක් වැඩ කරපු ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් ගැන මොනවද කියන්න තියෙන්නේ?
ඔවුන් හරිම හොඳයි. නිලූෂි මගේ හොඳ යළුවෙක් වුණා. ඒ වගේමයි මගේ සහෝදරයාට රඟපාපු කෙනාත් හරිම දක්ෂයි. ඔවුන් සියලුදෙනා හරිම හොඳ සහයෝගයක් ලබාදුන්නා. සමහරුන්ට හින්දි භාෂාවත් ටිකක් තේරුණා. ඒක හරිම සුන්දර කාලයක්. ඒ විතරක් නෙමෙයි මට මේ චිත්‍රපටයේ වැඩ කරපු අය ගැන සඳහන් කරන්නම ඕනෑ. හරුන් ෂයිඩීන්, ප්‍රියන්ත දිසානායක, චන්න දේශප්‍රිය, විමල් දේශප්‍රිය විශිෂ්ටයි. අනෙකුත් සියලුමදෙනා හරිම සහයෝගයෙන් වැඩ කළේ. මට කොයි වේලාවකවත් දැනුණේ නෑ මම ඉන්නේ මගේ රටේ නෙමෙයි කියලා.

⚫ලංකාවෙ සිනමාව ගැන මොන විදිහටද හිතන්නේ?
ඔබට මම දෙයක් කියන්නම්, මම ඉන්දියාවේ වැඩ කරනකොට එහි ලෝකෙ තියන සියලු තාක්ෂණ පහසුකම් දැක තිබුණා. නමුත් ඔබ විශ්වාස කරයි ද දන්නෑ ලංකාවට ඇවිත් වැඩ කරන්න ගත්තාම තමයි මම දැක්කේ ඒ සියලු පහසුකම් මෙහෙත් තිබෙනවා කියලා. අනික් කාරණාව තමයි මෙහෙ වැඩ කරන අයට ලොකු දැනීමක් තිබෙනවා, ඔවුන් කරන වෘත්තිය ගැන.

⚫ඔබ පළමු වතාවටනේ ලංකාවට ඇවිල්ලා වැඩ කළේ. ටික කලක් තමන්ගේ මව් රටෙන් බැහැර වුණාම පාළුවක් දැනුණේ නැද්ද?
ඉන්දියාවයි, ලංකාවයි කියන්නේ බොහෝ සමානකම් තියෙන රටවල් දෙකක්. මට මොනම වෙලාවකවත් හිතුණේ නෑ මම ගෙදර නෙමෙයි ඉන්නේ කියලා. සංස්කෘතික හා ආගමික පසුබිම් වෙනස් වුණත් අපි ගොඩක් සමානයි. අනික ලංකාව කියන්නේ අතිශයම සුන්දර දර්ශනීය රටක්. මම මේ රටට ගොඩක් කැමැතියි.

⚫නිෂ්පාදකතුමා සහ ප්‍රඩක්ෂන් ටීම් එක ගැන යමක් සඳහන් කළොත්?
හරිම සතුටුයි. ඔවුන් අපිට ඉතා ඉහළින් සැලකුවා. අපි හිටපු හැම තැනකම ඔවුන් අපිත් එක්ක හිටියා. රන්මිහිතැන්න, අනුරාධපුර සහ නුවර ඒ වගේම නුවරඑළිය මේ සියලු දර්ශන තලවලට පැමිණිලා ඔවුන් අපේ අඩුපාඩු සොයා බලා හැම දෙයක්ම හොඳින් සිදුකළා. තිලංග සර් ඇතුළු කණ්ඩායම අපට ඒ ලබාදුන්න සෑමදේටම මමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

⚫ඉදිරියේදී ලංකාවේ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා ද?
අනිවාර්යයෙන්ම ඔව්. මම කැමැතියි. මෙහි සිටින කාලයේදී මේ රටේ සිනමා කර්මාන්තය ගැන හොඳ අවබෝධයක් ලබාගත්තා. මෙහි ඉතා දක්ෂ අධ්‍යක්ෂවරුන් ඉන්න බව දැනගත්තා. කාට හෝ හොඳ නිර්මාණයක් කරන විට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුවහොත් මං නොපැකිළිව
ඒ සඳහා ඉදිරිපත් වෙනවා.

⚫අනාගත බලාපොරොත්තු මොනවාද?
හොඳ රංගන ශිල්පිනියක් ලෙස දිගටම සිනමාව තුළ රැඳී සිටින්න බලාපොරොත්තුවක් තියෙනවා. බුද්ධ මාතා සිනමාපටය තිරයේ දුටුවාම මට මං ගැන ලොකු සතුටක් දැනුණා. ඔබ කොච්චර දක්ෂ වුණත් ඔබට අවස්ථාවක් ලැබුණේ නැත්නම් ඔබේ හැකියාවන් පෙන්වන්න ලැබෙන්නේ නෑ. ඉදිරියේ මං විශ්වාස කරනවා මට හොඳ අවස්ථාවක් සිනමා කර්මාන්තයේ ලැබෙයි කියලා. ඒ සඳහා මම සියලු සුදුසුකම් සපුරා තියෙනවා. තවදුරටත් ඉගෙන ගන්නවා.

Himanshi Jain

Divaina Online

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *