Thu. Dec 5th, 2024

මාලිමා ආණ්ඩුව ලස්සනට රට පාලනය කරනවා.. ජනතාව රට හැදෙන දිහා සතුටින් බලා ඉන්නවා..! – ඇමති සමන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුව අද වන විට ඉතා සාර්ථකව රට පාලනය කරමින් සිටින බවත් ඒ දෙස ජනතාව ඉතා සන්තෝෂයෙන් සැහැල්ලුවෙන් බලා සිටින බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

“විපක්ෂය පහුගිය මැතිවරණ දවස්වල කියපු කතාව නෙවෙයි දැන් කියන්නෙ. ඒ කාලෙ කිව්වෙ අත්දැකීම් නෑ, මේක ගෙනියන්න බෑ, මේක වැටෙයි කියලා. දැන් ඒ කතාව නෑනෙ, මොකද දැන් අපි මේක ලස්සනට කරගෙන යනකොට අරක වලංගු වෙන්නෙ නෑ. දැන් ජනාධිපතිවරණයෙදි කොහොමද කිව්වෙ ? ආවොත් අස්වැසුම කපයි කිව්වා. ඔන්න දැන් අපි අස්වැසුම නොලැබුණු, ලැබෙන්න සුදුසුකම් තියෙන අයට ඊළඟ වටයේ ඒක ලබාදෙන්න දොර කවුළු විවෘත කළා.

අසාධාරණයට ලක්වෙච්ච ජනතාව දැන් ඉල්ලුම් පත්‍ර භාරදෙමින් තියෙනවා. අස්වැසුම කැපෙනවා නෙවෙයිනෙ දැන් තියෙන්නෙ, ඒක තවත් අයට දෙන්න සූදානම් වෙනවා. ඒ කට්ටිය කිව්වා ආගම දහම නැතිවෙයි කියලා. නෑනෙ දැන් ඉතින් ආගම දහම හොඳට පවතිනවා, ගැටුම් මොකුත් නෑ, හැමෝම තම තමන්ගෙ ආගම් හොඳින් අදහනවා.

බොහෝම සාමකාමී වාතාවරණයක් රටේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් තියෙනවා. මිනිස්සුන්ට ඔළුවට බරක් නෑ, බොහොම සැහැල්ලුවෙන් සන්තෝසයෙන් රට යන දිහාව බලාගෙන ඉන්නවා. දේශපාලනයේ අනවශ්‍ය ඇඟිලි ගැහීම්, බාධා කිරීම් නෑනෙ. ඉතින් රට ලස්සනට කෙරීගෙන යනවා. ඒ කට්ටිය කියපු ඒවා බොරුවෙලා.”

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *