Sat. Jul 27th, 2024

කතරගම දෙවියන්ගේත් ඇස් වසා රන් තැටියට විද්ද හැටි මෙන්න…!

මේ රටේ පාතාල ක්‍රියාකාරිකයෝ අද මහ ලොකු සල්ලිකාරයෝය. ඔවුන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් විය පැහැදම් කරන ආකාරය, ගමන් බිමන් යන සුඛෝපභෝගී වාහන, නවාතැන් ගෙන සිටින සුපිරි මන්දිර දෙස බැලීමේදී එය මොනවට පැහැදිලි වන්නකි. තවත් ආකාරයකින් කියනවා නම් මේ පාතාලකරුවන්ට විසි කිරීමට තරම් සල්ලි දේපළ රත්‍රන් මුතු මැණික් වැහි වැස ඇත්තේය. එ‍සේම ඔවුන් කළ කී දෑවල පව් අරවා ගන්නට අත දිගහැර පින් දහම් කරන්නටත් බාර හාර ඔප්පු කරන්නටත් පෙළ ගැසී සිටින්නට පුරුදු වී ඇත.

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු මෙන්ම හොරොයින් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවකු බව කියන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් ‘‘අංගොඩ ලොක්කා“ රුහුණු මහා කතරගම දේවාලයට රුපියල් කෝටි ගණනක් වටිනා රන් තැටියක් පූජා කර ඇත්තේ ඉකුත් 2019 වසරේදීය. තම දරුවාගේ අපල උපද්‍රව දූරින්භූතවී යන්නට වූ බාරයක් ඔප්පු කිරීම සඳහා පවුම් 38ක් බරැති මේ රන් තැටිය ඔහුගේ බිරිය වන අබේසිංහගේ නිසංසලා විසින් පූජා කරනු ලැබ ඇතැයි එදවස ආරංචි මඟින් කියැවුණි. බැතිමතකු පූජා කළ ඒ පූජා රන් තැටිය අතුරුදන් වූ බවට පැමිණිල්ලක් බස්නායක නිලමේවරයාට යන්නේ මේ පූජාවෙන් දවස් කිහිපයකට පසුය. මේ පූජා තැටිය අතුරුදන් වී අදට වසර හතරකට ආසන්නය. කොළඹ අපරාධ කොට්ඨාසය මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමට එම කොට්ඨාසය පියවර ගෙන තිබුණේ ඉදිරි විමර්ශන සිදු කරන්නේ කෙසේදැයි නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමටය. ඒ අනුව නීතිපතිවරයා ඉකුත් 07 වැනිදා සිය උපදෙස් ලබාදී තිබුණේ මෙම සිද්ධියේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. දැන් කොළඹ අපරාධ කොට්ඨාසය එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානමින් ඇත. මේ සැකකරුවන් කවුරුන්ද?

බැතිමතකු විසින් රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරන ලද රත්‍රන් තැටියක් දේවාල මාලිගාවේ තැන්පත් කර එහි තබාගත යුතුව තිබියදී දේවාලයේ කපු මහතුන් විසින් එම තැටිය දේවාල මාලිගාවෙන් රැගෙන ගොස් සාපරාධී විශ්වාසය කඩ කිරීම හා සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 2021 නොවැම්බර් මස 24 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ රැහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර විසිනි. ඒ ඉකුත් 2021 වසරේ ඔක්තෝබර් මස 19 වැනිදාය. එම පැමිණිල්ලට අනුව පොලිස්පතිවරයාගේ උපදෙසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක 01 මඟින් මෙම විමර්ශනය ආරම්භ කර තිබිණ.

පැමිණිලිකාර බස්නායක නිළමේ කොළඹ අපරාධ කොට්ඨාසයට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ, තමන්ට දුරකතනයේ ඉමෝ මෘදුකාංගය හරහා මේ සම්බන්ධයෙන් කරැණු ඉදිරිපත් වූ බවත්, රන් තැටියක පින්තූරයක්, රත්‍රන් බිස්කට් කිහිපයක්, රිදී පාට තැටියක්, රන් තැටිය අතැතිව සිටින පුද්ගලයකුගේ ඡායාරූපයක් සහ පණිවිඩයක් එහි අන්තර්ගත වූ බවත් ය.

‘‘බස්නායක නිලමේතුමනි, රුහුණු මහා කතරගම දේවාලයේ මාලිගාව තුළ සිදු වූ සොරකමක් සම්බන්ධවයි. මෙය පවුම් 38කින් යුත් පූජා භාණ්ඩයකි. මෙය ගබඩාරාල රැගෙන ගොස් ඇත. විකුණා ඇත. මෙයට අනුග්‍රහය දැක්වූ අය මේක දැනගන්න පැමිණෙන බව සුජිත් කියන කෙනා පවසා ඇත. සුජිත් යනු එම රන් ආභරණය පුජා කළ අය සම්බන්ධ කළ කෙනාය. 2020. 09. 03 දින මෙය රැගෙන ගොස් ඇත. දැනට මෙය මකනවා. මෙය නැවත සාදා දේවාලයේ මාලිගාව තුළට රැගෙන ඒමට මොහුගේ සැලැස්මක් ඇති බව ආරංචියි. මෙවැනි අකටයුතුකම් මෙම පූජනීය ස්ථානයේ නොවීමට ඔබතුමා වගබලා ගනීවි යැයි අපගේ බලාපොරොත්තුවයි සොරකම් කළ පුජා භාණ්ඩය මෙයය‘‘ යනුවෙන් එම ඉමෝ මෘදුකාංගය මඟින් එවූ පණිවිඩයේ සඳහන්ව තිබී ඇත.

මෙම පණීවිඩයට අනුව ගබඩාරාල යනු එම්. එම්. සමන් ප්‍රියන්ත යන කපු මහතා බවත් මෙම රත්‍රන් දේපළ පූජා කිරීමට සම්බන්ධ වූවායි කියන සුජිත් යනු කවුරුන්දැයි තමා නොදන්නා බවත් බස්නායක නිලමේවරයා සිය මුල් පැමිණිල්ලෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කරුණු කියා තිබිණ. එහෙත් පසුව නැවතත් ප්‍රකාශයක් ලබා දෙමින් පැමිණිලිකරු සඳහන් කර තිබුණේ දේවාලයේ ඉවුම් පිහුම් කටයුතු කරන සුජිත් සහ පත්තිනි දේවාලයේ සමන් ප්‍රියන්ත කපු මහතාගේ මැදිහත්වීම මත පැමිණි බැතිමතකු රුහුණු මහා කතරගම දේවාලයට පවුම් 28ක් පමණ බර රත්‍රන් තැටියක් 2019 පෙරහැර මාසයේදී පූජා කර ඇති බවත් ය. එය පූජා කළ අවස්ථාවේදීම සමන් ප්‍රියන්ත කපු මහතා විසින් එම රත්තරන් තැටිය ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක වෙත භාර දී දේවාලයේ තැන්පත් කර ඇති බව ද පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් කරුණු ඉදිරිපත් කර තිබිණ.

කරුණු සොයා බැලීමේදී ඉන් දින කිහිපයකට පසු එම තැටිය ‘පේ කර‘ එය පූජා කළ බැතිමතාටම නැවත භාරදී ඇති බවට සමන් ප්‍රියන්ත දැනුම් දුන් බවත් එහිදී ඒ බැතිමතා කවුරුන්දැයි විමසූ විට ‘ඒ කවුරුන්දැයි නොදන්නා බවට ඔහු ප්‍රකාශ කළ බවත් පැමිණිලිකාර බස්නායක නිලමේවරයා සිය ප්‍රකාශයෙන් සඳහන් කර තිබිණ. කෙසේ නමුත් දේවාලය තුළ තිබිය යුතු එම රන් තැටිය එම ස්ථානයෙන් බැහැර කිරීම වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් දේවාලයට අගෞරවයක් වන බැවින් මෙම රන් තැටිය නැවත සකස් කර දේවාලයට භාර දීමට සමන් ප්‍රියන්ත කපු මහතා ඉකුත් 2021. 10. 25 වැනිදා කටයුතු කර තිබිණි. ඒ අනුව එදින දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ නිවෙසට ගොස් ඇති සමන් ප්‍රියන්තට ප්‍රධාන කපු මහතා විසින් නිවසේ තිබූ රන් තැටියක් ලබාදී එය දේවාලයේ පරිපාලන ලේකම්තුමා වෙත භාර දෙන ලෙස දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, දේවාලයේ වැඩ කටයුතු කරන විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර කතරගම රුහුණු මහ දේවාලයේ පත්තිනි දේවාලයේ කපු මහතකු වන අමිල නුවන් මුණසිංහ යන අයගෙන් ලබාගත් සාක්ෂියේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේ අයුරිනි.

‘‘2019. 07. 03 වැනිදා රුහුණු මහ කතරගම දේවාලයට පුජා කිරීමට රත්‍රන් බන්දේසියක් අරගෙන කට්ටියක් ආවා. ඒ අය අතර කාන්තාවක් තමන්ගේ දරුවා අරගෙන ඇවිත් හිටියා. තව වැඩිහිටි කාන්තාවන් දෙදෙනකුත් ඔවුන් පැමිණි රථයේ රියැදුරුත් හිටියා. මේ අයත් එක්ක සුජිත් ප්‍රසන්නත් ඇවිත් හිටියා.‘‘

කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනයේදී මේ කියනා සුජිත් නැමැත්තාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඒ අනුව කතරගම හෝටලයක අරක්කැමියකු වශයෙන් සේවය කරන දිසානායක මොහොට්ටිලාගේ සුජිත් ප්‍රසන්න යන අය සඳහන් කර තිබුණේ, ‘‘හෝටලයට ආපු නෝනා කෙනෙක් කිව්වා කතරගම දේවාලයට රත්‍රන් පැන් භාජනයක් පූජා කරන්න ඕන, ඒකට මට උදව් කරන්න පුළුවන් ද“ කියා තමන්ගෙන් විමසූ බවය.

‘‘ඊට පස්සේ මම පත්තිනි දේවාලයේ අමිලට මේ විස්තරේ කියලා එයාව ගෙන්නා ගත්තා. පස්සේ රන් පැන් භාජනයක් පුජා කරන්න පොරොන්දු වෙච්චි නෝනවයි එයාගේ දරුවවයි තවත් නෝනලා දෙන්නෙකුයි කිරි වෙහෙරට එක්ක ගෙන ගිහිල්ලා වැන්දාට පස්සේ රුහුණු කතරගම දේවාලයට ගිහින් තැටිය පූජා කළා. ඒ තැටිය භාර ගත්තේ සොමිපාල රත්නායක ලොකු කපු මහත්තයා. ඒ රන් පැන් භාජනයේ දිනය සහ නම කොටා තිබුණා‘‘ සුජිත් යන අය සිය ප්‍රකාශයෙන් එසේ සඳහන් කර තිබිණ. එසේම වැඩිමනත් සිය ප්‍රකාශයෙන් කරුණු දක්වා සිටි ඔහු මෙසේ ද ප්‍රකාශ කර ඇත.

‘‘අංගොඩ ලොක්කා කියන අය ඉමෝ එකෙන් මට කතා කළා. දේවාලෙට රන් තැටියක් පූජා කරන්න අවස්ථාව සලසලා දෙන්න කියලා මගෙන් ඉල්ලුවා. ලොක්කා මට දැනුම් දීපු ආකාරයට මම කඩුවෙලට ගියා. ඊට පස්සේ අංගොඩ ලොක්කා දෙන්නෙක්ව එව්වා. ඒ අය කවුද කියලා මම දන්නේ නැහැ. ඒ දෙන්නා මට රන් බිස්කට් ටිකක් දුන්නා. මම ඒවා අරගෙන ඇවිල්ලා රන් භාණ්ඩ හදන මාලන් කියන කෙනාට ඒ ටික දීලා රත්‍රන් තැටියක් හැදුවා. ඒක තමයි ජුලි 03 වැනිදා පත්තිනි දේවාලයේ අමිලගේ සහාය ඇතිව රුහුණු මහා කතරගම දේවාලයට පූජා කළේ. මම ඒ රත්‍රන් බිස්කට්වල පින්තූර ගත්තා. මේවාට යන වියදම පියවා ගන්නා කියලා අංගොඩ ලොක්කා මට රුපියල් ලක්ෂ දෙකක් දුන්නා. එයා මගේ බැංකු ගිණුමට ඒ සල්ලි එවලා තිබුණා. මේ රත්‍රන් තැටිය පූජා කරලා දවස් තුනක් දේවාලේ තිබුණා. මේ තැටිය අංගොඩ ලොක්කගේ නෝනා ආපහු ඇවිත් අරගෙන ගියා කියලා බස්නායක නිලමේට බොරුවක් කියන්න කියලා ලොකු කපු මහත්තයා මට කිව්වා“

මේ සිද්ධිය සම්බන්ධයෙන් සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහත්තයා ගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ. ප්‍රධාන කපු මහතා නොහොත් මුත්තා බේරා ගැනීම සඳහා රන් තැටිය මකා වෙනත් එකක් නිර්මාණය කළ කතරගම මාලන් නමැත්තාට රැපියල් ලක්ෂ 41ක් දී නැවත රන් තැටියක් සදා දුන් බව ඔහු සිය ප්‍රකාශවලින් සඳහන් කර ඇත.

‘‘නිලමේතුමා කිව්වා මේක කට්ටියටම හොඳ නැහැ. කට්ටිය එක්ක කතා කරලා මොකක් හරි කරන්න. මේක පත්තරවල යන්න කලින් කියලා. ඊට පස්සේ අපි කට්ටියම මුත්තගේ ගෙදර ගියා. මම මුත්තට කිව්වා මුත්තේ මේක නැත්නම් මේක හදන්න මුත්තට සල්ලි හරි ඕනේ නම් දෙන්නම් කියලා. මම එහෙම කිව්වේ මුත්තට තියෙන ආදරේට. ඊට පස්සේ මුත්තා මට කුණුහරුපෙන් බැන්නා‘‘

මෙම විමර්ශනයේදී කොළඹ අපරාධ කොට්ඨාසය අංගොඩ ලොක්කා යන අයගේ බිරියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු අතර ‘පුතාගේ අපලයක් තියෙනවා, ඒක දුරු වෙන්න පුතාගේ නම කොටලා රත්‍රන් තැටියක් පූජා කරන්න ඕන වුණා. මුලින්ම අපි හිතුවේ දරුවාගේ වයසට හරි යන්න පවුම් පහක් පූජා කරන්න. ඊට පස්සේ ලොක්කගේ වයසට සරිලන්න පවුම් තිස් අටක් බර රත්තරන් තැටියක් පූජා කළා. ඒක කළේ කපු මහත්තයා කිව්ව නිසා“ යැයි ඇය සිය ප්‍රකාශයෙන් සඳහන් කර තිබිණ.

‘‘මගේ මහත්තයා ඉන්දියාවට පැනලා ගියා. මම කිව්වා පුතාට බාරයක් තියෙනවා ඔප්පු කරන්න එන්න කියලා. එතකොට එයා කිව්වා එන්න බෑ කියලා. පස්සේ මට කිව්වා පුතාට බාරයක් රත්තරන් වලින් ඔප්පු කළා කියලා. 2019න් පස්සේ එයා මට කතා කළේ නැහැ. එයා වෙන ගැහැනු කෙනෙක් එක්ක ඉන්දියාවේ හිටියේ. ඔහු මිය ගියා කියලත් අහන්න ලැබුණා. කොහොම වුණත් පුතාගේ නම කොටපු එකක් එයා පුජා කරන්න ඇති කියලා හිතනවා.“ අංගොඩ ලොක්කා යන අයගේ බිරිය වන අබේසිංහගේ නිසංසලා යන අය කොළඹ අපරාධ කොට්ඨාසයට වැඩිදුරටත් එලෙස සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇති බව එම කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ සියල්ල විමසා බලා අදාළ රන් බන්දේසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2021 නොවැම්බර් මස 02 වැනිදාය. එහි බර ගණනය කිරීමේදී ග්රෑම් 294ක් බවට තහවුරු වූ බවත් එය වැඩිදුරටත් පරීක්ෂා කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ ආයතනය වෙත යොමු කළ බවත් අධිකරණයේදී කරුණු වාර්තා විය.

මෙම වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 සහ 389 වගන්ති යටතේ කියැවෙන වරදක් බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ අතර වැඩිදුර විමර්ශනවලින් පසු නීතිපතිවරයාට මෙම සිද්ධියේ උදෘත යොමු කිරීමට ද පියවර ගෙන තිබිණ. ඒ අනුව ඉකුත් 07 වැනිදා නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේ මෙහි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වී ඇත්තේ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක සහ එම දේවාලයේ ගබඩාව භාරව සිටින ප්‍රධාන කපුරාලගේ මුණුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපු මහතාවය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වාගේ මෙහෙයවීමෙන් එහි ඒකක 01හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. ජේ. නිශාන්ත ඇතුළු නිලධාරීහු මෙහි විමර්ශන සිදු කරති.

– නිමන්ති රණසිංහ
Silumina

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *