Sat. Jul 27th, 2024

චම්පික ජාතික නිදහස් සටන අරඹයි..!

අහිමි කරන ලද ස්වෛරීත්වය නැවත ස්ථාපනය කළ හැකි ජාතික නිදහස් සටනක් අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එම සටන මෙහෙයවීම සඳහා පසුගිය වසරේදී එක්සත් ජනරජ පෙරමුණ බිහි කෙරිණ.

රටේ ජනතාව වර්තමානයේදී ගැටලු රැසකට මුහුණ දී සිටී. ඒ පිළිබඳ ව අදහස් දැක්වීමක් විනා වත්මන් ක්‍රියාවලිය තුළ එම ගැටලු විසඳීමේ ක්‍රියා මාර්ගයක් නැතැයි රණවක මහතා පෙන්වා දෙයි.

ඒ නිසා ජනතාවගේ ගැටලු විසඳීම ප්‍රමුඛ කාර්යයක් විය යුතුය. උතුරේ දෙමළ ජනතාව වුවද නැගෙනහිර මුස්ලිම් ජනතාව වුවද ගැටලු වලින් මුදා ගැනීම අතිශය වැදගත්ය.

ඒ සඳහා ජාතික නිදහස් සටනක් අලුතින් ඇරඹිය යුතු අතර ඊට දුක් විඳින ජනතාවගේ සහාය අවශ්‍ය බව පාඨලී චම්පක රණවක මහතා සඳහන් කරයි. ජනතා ගැටලු විසඳිය යුතුය.

ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් කිරීමට සුදුසු වටපිටාවක් සැකසීමද අවශ්‍යතාවකි. ඒ සඳහා තරුණ ශක්තිය සහ ජවය අවශ්‍ය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. වත්මන් දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නොමැත.

පසුගිය දින කිහිපයේදී සිදු වූ අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සහ කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීම ආශ්‍රිත සිදුවීම් ඊට උදාහරණයි.

එහිදී ජනතාව, දේශපාලනය සහ රාජපක්ෂ දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳව දක්වන වෛරී සහගත හැඟීම නැවතත් ප්‍රකාශයට පත් විය. එවැනි තත්ත්වයකදී නව ජාතික නිදහස් සටනක් අවශ්‍ය බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ජනතාව මත රජය බදු බර පටවා තිබේ. විදුලිය, ඉන්ධන ආදියෙහි මිල වැඩි වෙයි. නාස්තිය සහ දූෂණය පිටුදැකීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඒ අනුව කළමනාකරණ ගැටලු රැසක් ඇති බව හෙළි වෙයි.

පාඨලී චම්පක රණවක මහතා කියා සිටින්නේ නිශ්චිත බදු අය කිරීමේ ක්‍රමයකට දේශීය ආදායම් උත්පාදන ක්‍රියාවලිය පරිවර්තනය කළ යුතු බවයි. එහෙත් එය සිදු කිරීමට ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන කිසිදු දේශපාලන පක්ෂයකට නොහැකි වන බවද ඔහු අවධාරණය කරයි.

කළමනාකරණ දැනුමක් සහිත දේශපාලන පක්ෂයකට පමණක් එය සිදු කළ හැකිය. එක්සත් ජනරජ පෙරමුණ ඒ වෙනුවෙන් කැපවී සිටින බව රණවක මහතා අවධාරණය කරයි.

වංචාව සහ දූෂණය නතර කරමින් නිවැරදි කළමනාකරණයක් මගින් ජනතාවගේ ගැටලු විසඳීමේ නව නිදහස් සටන ඇරඹීමට පක්ෂය සූදානම් බවද ඔහු සඳහන් කළේ එක්සත් ජනරජ පෙරමුණේ අතුරුගිරිය ජන හමුවේදීය.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *