Fri. Oct 18th, 2024

මාස 6දී කේන්දරේ බැලුවාම කවදා හරි රජ වෙනවා කිව්වා – ජනාධිපති පුතා ගැන අම්මා කතා කරයි!

අවුරුදු 12දී පන්සලේ හාමුදුරුවෝ මහණ කරන්න ඉල්ලුවා මම දුන්නේ නෑ..මාස 6දී කේන්දරේ බැලුවාම කවදා හරි රජ වෙනවා කිව්වා’! ජනාධිපති පුතා ගැන අම්මා කතා කරයි

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා වූ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට දක්වා පැමිණි ගමන සෙසු ජනාධිපතිවරුන්ගේ ගමන මෙන් රෝස මල් යහනාවක් නොවේ. ඔහුගේ ගමනේ ආරම්භය සහ පැමිණි ගමන්මගට දුෂ්කරතා බොහෝ විය.

‘එක සැරයක් පන්සලක ලොකු හාමුදුරුවෝ එයාව පැවිදි කරන්න දෙන්න කියලා මගෙන් ඉල්ලා සිටියා. එතකොට එයාට අවුරුදු 12යි. මම එකඟ වුණේ නැහැ,’ යනුවෙන් අනුරගේ මව වන ඩී.එම්. සීලවතී පවසන්නීය.

අනුරට මාස හයක් පමණ වන විට ඔහුගේ කේන්දරය බැලීම සඳහා ගිය අවස්ථාවේ ජ්‍යොතිර්වේදියා තුෂ්ණිම්භූත වූ මුහුණින් යුතුව තම පුතු කවදා හෝ ‘රජ’ වන බව ප්‍රකාශ කළේ යැයිද අනුරගේ මව පවසන්නීය.

86 වැනි වියේ පසුවන මෙම මවට තම අදහස් ප්‍රකාශ කිරීම වයසත් සමග සෑහෙන දුෂ්කර වී ඇති බැවින් ඇයට උපකාර කරන්නේ 62 හැවිරිදි දියණිය වන ඩී.එම්. ශ්‍රියාලතායි. ඇය දැනට ජීවත්වන්නේ කලාවැව ආසනයේ මහවැලි ‘එච්’ ක්‍රමය යටතේ සංවර්ධනය වූ ගම්මානයක චාම් නිවසකය. ඔවුන් එහි පදිංචියට ගොස් ඇත්තේ 1972දීය.

තඹුත්තේගම ගොවි නගරයේ සිට (අනුරාධපුරයේ සිට කිලෝමීටර් 25ක්) කර්කශ මාර්ගයකින් මිනිත්තු දහයක පමණ ගමනකින් පසු නිවෙසට ළඟාවිය හැකිය. එම යන ගමනේදී ක්‍රීඩා පිටියක් සහ බෞද්ධ විහාරයක් පසුකර යා යුතුය. මිනිත්තු කිහිපයකට පසු නිවෙසට ළඟා විය හැකි අතර නිවාස වටා කටුකම්බි යෙදූ වැටකි. නිවස නව සෙවිලි තහඩු දමා අලුත්වැඩියා කටයුතු සිදුකර ඇති බවට සලකුණු දැකිය හැකිය.

ශ්‍රියාලතා දියණියගේ වාරුවෙන් සාලයේ හාන්සි පුටුවකට පැමිණි ඇය ඉදිරියෙන්ම වූයේ රූපවාහිනී යන්ත්‍රයකි.
‘අම්ම රෑට ප්‍රවෘත්ති බලනවා. මගේ මල්ලි ඉන්නව නම් හැම වෙලාවේම අම්මා අහන්නේ, ‘එයා මගේ පුතාද’ කියලා. අම්මා එයාට පුදුම විදිහට ආදරෙයි. ඒ වගේම මගේ අනුර මල්ලිත් එයාට ගොඩක් ආදරෙයි. එයා මේ පැත්තේ එන හැම වෙලාවකම අපිව බලන්න එනවා.’ යනුවෙන් ශ්‍රියාලතා සඳහන් කරයි.
අනුරගේ මවට අනුව ඔහු කුඩා කාලයේ සරුංගල් සමග සෙල්ලම් කරන්නට රුසියෙකි. ඊට අමතරව ඔහු පිහිනීමට ද කැමැත්තක් දක්වා තිබේ. ඔහු සෑම දිනකම දිය නෑමට යන්නේ නිවෙසේ සිට විනාඩි පහක් පයින් යා හැකි දුරින් පිහිටි නාලච්චිය වැවටය.

ඇය හෙළිකළ පරිදි ඇගේ පුත් අනුරගේ වඩාත් විශේෂත්වය වන්නේ ඔහු පොත් ගුල්ලෙකු වීමයි.
‘පොතක් කියන්නේ එයාට කෑමක් වගේ. අපේ ගෙදර ඉස්සරහ අරලිය ගහක් තිබුණා. ඒ ගහට නැගලා අත්තක වාඩිවෙලා එයා පොත් හඬනගා කියවනවා,’ යනුවෙන් ඇය සිනාසෙමින් සිහිපත් කළාය.

‘අපි කෑමට මේසයේ වාඩි වෙනකොටත් එයාට නිතරම පොතක් හරි පත්තරයක් හරි ඕනේ. මට කවදාවත් එයාට පාඩම් කරන්න කියලා කියන්න වුණේ නැහැ. එයා හැමවෙලාවෙම ඒ දේවල් තනිවම කළා’ යැයි ඇය සිහිපත් කළාය.

‘අනුරගේ තාත්තා එහෙමත් නැත්නම් මගේ මහත්තයා වැඩ කළේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ. 1992 දී ඔහු මියගියා. ඒ තමයි අපි ගෙවපු දුෂ්කරම කාලය. ඒ සිදුවීම අනුර ආරම්භ කරපු ගමන නොකඩවාම ඉදිරියට ගෙන යෑමේ අධිෂ්ඨානය තවත් වැඩි කළා’ යැයි ද සීලවතී මව පැවසුවාය.
පැවැති වාතාවරණය අනුව ඇගේ පුත් අනුරට තම පියාගේ අවමංගල්‍යයට සහභාගි වීමට නොහැකි වූ බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ හමුදාව නිවෙසේ රැඳී සිටි බවත් ඇය හෙළි කළාය.

ඔහුගේ මව පවසන පරිදි, දේශපාලනය කෙරෙහි අනුරගේ ඇති උනන්දුව වැඩි වන්නේ ඔහු උසස් පෙළ විභාගය කරන අතරතුරය. එවිට ඔහුට මරණ තර්ජන එල්ල වී තිබේ. ඔහු සමීපව ඇසුරු කළ ඔහුගේ පියාගේ සහෝදරයා ඝාතනය වී ඇත.

‘අද මගේ පුතා ඉන්න තැන ගැන මම සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා’ යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
‘මගේ පුතා බොරුකාරයෙක් හරි වංචාකාරයෙක් හරි නෙවෙයි. ඒ වගේ වැඩ ගැන ඇහෙනකොටත් එයාට තරහා යනවා. මගේ ප්‍රාර්ථනාව නම් මගේ පුතාට අනුරාධපුරයේ පූජනීය ස්ථානවලට ගිහින් ආශීර්වාද කරන්න. එයාට තියෙන්නේ නිරහංකාර ආරම්භයකින් ආපු ගමනක්’ යනුවෙන් සීලවතී මව වැඩිදුරටත් සඳහන් කළාය.

එම නිහතමානී ආරම්භය දිසානායක ජනාධිපති ධුරයට පත්වීම හා ඊට පෙර සිදු වූ සිදුවීම්වලින් ද පිළිබිඹු විය. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර, ඔහු සිය මෝටර් රථයේ නිදාගත් ආකාරය බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. ඔහුගේ දිවුරුම් දීම වැඩි ඝෝෂාවකින් තොරව සිදුවිය. පොලිස් අශ්වයන්, නැටුම් කණ්ඩායම්, ජයමංගල ගාථා, රතු පළස්, ගෞරව ආරක්ෂක භටයන් එහි තිබුණේ නැත. ඒවා සැබැවින්ම ජනතාවාදී ජනාධිපතිවරයකුගේ ලක්ෂණ වේ.

ceylonwire.lk

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *