Fri. Jan 24th, 2025

මේ කාලෙදි බඩු මිල වැඩි වීම සාමාන්‍ය දෙයක්..!

සහල් මෙට්‍රික් ටොන් පන්ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් ගබඩා කළ හැකි සතොස හා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පහසුකම් පවතින බවත් ඉන් මේ වන විට තුන්ලක්ෂ පනස්දහසක් පමණ සහල් තොග ගබඩා කළ හැකි තත්ත්වයේ ගබඩා පවතින බවත් ඒ අනුව සතොස, වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන ඒකාබද්ධව වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී ආරම්භ කරන බවත් වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ක්‍රම කිහිපයකට වෙළෙඳපොළට සහල් නිකුත් කිරීම සඳහා ආණ්ඩුව විසින් කටයුතු කර ඇති බවත් පසුගිය දින දහය ඇතුළත පමණක් පොළොන්නරුව ප්‍රදේශයේ මෝල් හිමියන් සතුව තිබූ සහල් කිලෝ ලක්ෂ 100 කට අධික සහල් වෙළෙඳපොළට නිදහස් කිරීමට රජය මැදිහත් වූ බවත් ඒ මහතා පැවසීය.

සතොස හරහා මෙට්‍රික් ටොන් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමටත් ආනයනය කිරීම් සහ නිදහස් කිරීම් හරහා ඊයේ සවස් වන විට සහල් මෙට්‍රික් ටොන් 65000ක් වෙළෙඳපොළට පැමිණ තිබෙන බවත් ඒ අනුව සහල් වෙළෙඳපොළ තුළ තිබෙන හිඟය මගහැරීමටත් හැකි වන බව අමාත්‍යවරයා කීය.

උත්සව සමය තුළදී භාණ්ඩ හිඟය සහ මිල වැඩි වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහල් ඇතුළු අනෙකුත් සියලුම පාරිභෝගික භාණ්ඩ මගින් අයථා ලාභ ලබා ගැනීමට අවස්ථාව නොදීමට කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කළේය.

රට තුළ සහල් හිඟය රජයේ විවිධ ආයතන මගින් ලබා ගත් සංඛ්‍යා ලේඛනවලට වඩා වැඩි බවත් සහල් සඟවා තබා ගනිමින් වැඩි ලාභයක් ලැබීමට මෝල් හිමියන් සිදු කරන වංචා මගහැරීමට සහල් ආනයනය කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

ගොවියන්ගේ පොහොර සහනාධාරය පමා වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය සතිය ඇතුළත හිඟව පැවති රුපියල් බිලියන හතරකට ආසන්න මුදල්වලින් බිලියන තුනක් නිදහස් කළ බවත් ඒ සඳහා ආණ්ඩුව අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවත්ය.

රටට අවාසිවන ආකාරයට කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවත් රටේ සිටින නිෂ්පාදකයන්, ආයෝජකයන් සහ අපනයනකරුවන් සහ දේශීය කර්මාන්ත හා ජනතාව ද ආරක්ෂා කර ගන්නා වෙළෙඳ ගිවිසුම්වලට එළඹෙන බවත් හොඳ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වගේම රට ගොඩනඟන ආයෝජන හා අපනයන සිදු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

මිහින්තලේ – රංග චතූ

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *