Sat. Jul 27th, 2024

රටේ බලශක්ති ස්වයංපෝෂණ ඉලක්කවලට එරෙහිව බොරු බිල්ලො මවන්න එපා..! – පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි

“අද වෙනකොට අපේ රටේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට එරෙහිව පදනමක් නැති තර්ක ගෙන එමින් බිල්ලන් මවමින් සිටිනවා. කණගාටුවට කරුණ වන්නේ විවිධ න්‍යායපත්‍ර සහිත දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වෙලා ඉන්න පරිසර සංවිධානවල නායකයන් යැයි කියාගන්නා බංකොලොත් පිරිස් මේ සඳහා ප්‍රමුඛත්වය ගැනීමයි. එක් අයෙක් පවසන පරිදි සුළං විදුලි බලාගාරවල තටු කැරකීම නිසා මුහුදු රළ ආපස්සට යන්න පුළුවන්ලු. වැස්ස නැති වෙන්න පුළුවන්ලු. තවත් පිරිසක් කියනවා මේ බලාගාර නිසා ධීවරයන්ගේ කුඩාදැල්වලට මසුන් අසුවෙන්නෙ නැතුව යාවිලු. මේ වගේ බොළඳ තර්ක ඉදිරිපත් කරමින් තමයි මේ අය රටේ බලශක්තිය අවශ්‍යතා ඉලක්ක සපුරා ගැනීමට එරෙහිව වගේම ජනතාවට අඩුමිලට බලශක්තිය ලබාගැනීමේ ඇති අයිතියට එරෙහි වෙන්නේ”

ජාතික පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඉහත අදහස් පළ කළේ ජාතික සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති එල්. එච් රංජිත් සේපාල මහතා හමුවී එම සංවිධාන එකමුතුව විසින් සකස් කරන ලද ” ශ්‍රී ලංකාවේ බලශක්තිය අර්බුදය කෙරෙහි අවධානය යොමු කිරීම: පුනර්ජනනීය බලශක්තිය;ලංකාවේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන්” (Addressing the Prevaling Energy Crisis in Sri Lanka: Renewable Energy; Serving the Present and the Future of Sri Lanka) යන වාර්තාව ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

” අපේ රටේ සංවර්ධනය වේගවත් වීමත් සමඟම රටේ බලශක්තිය අවශ්‍යතාවයත් වැඩිවීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්. පසුගිය දශක කිහිපය තුළම වැඩි වන බලශක්ති අවශ්‍යතාවය සඳහා එකම විකල්පය විදිහට අපි භාවිතා කළේ , ඛනිජ තෙල් සහ ගල් අඟුරු. නමුත් මේ මගින් සිදුවන පාරිසරික හානියට අමතරව අපි තව තවත් ණය උගුලේ හිරවීම සිදුවුණා. නමුත් අපේ රට දිනපතා ලැබෙන හිරු එළිය, මන්නාරම් කලාපය ආශ්‍රිතව පවතින සුළං බලය සම්පත් නිසා පුනර්ජනනීය බලශක්තිය සඳහා විශාල විභවයක් සහිත රටක්. ව්‍යාජ පාරිසරික හානි ගැන සඳහන් කරමින් අපි පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමුවීම නතර කළ යුතු නැහැ.

ඕනෑම මිනිස් ක්‍රියාකාරකමක් මගින් පරිසර හානියක් ඇති වෙන්න පුළුවන්. නමුත් එවැනි හානි අවම කර ගැනීමට මෙන්ම ඇතැම් විට එවැනි හානි සම්පූර්ණයෙන්ම නිෂේධ කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය මේ වන විට ලෝකය තුළ පවතිනවා. අපි ඔබට ආරාධනා කරනවා ලෝකයේ සුළං විදුලි බලාගාර මගින් කුරුල්ලන්ට වන හානිය අවම කර ගැනීමට යොදාගෙන තියෙන තාක්ෂණික උපක්‍රම පිළිබඳව හොයල බලන්න කියලා. සංවේදක සහ රේඩාර මගින් කුරුලු රංචු පැමිණීමට යම් නිශ්චිත දුරක් තිබියදී බලාගාර වල තටු නැවතීමට ඉහල තාක්ෂණයක් එම රටවල භාවිතා වෙනවා.

එම වාර්තාව පිළිගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික සුනිත්‍ය බලශක්තිය අධිකාරියේ සභාපති එල්. එච් රංජිත් සේපාල මහතා පැවසූයේ,

” අපේ රටේ සම්පූර්ණ අනාගතයම රඳාපවතින්නේ පුනර්ජනනීය බල ශක්තිය මතයි. ඒ හරහා පමණයි අපේ රටේ ජනතාවට අඩු මිලට බලශක්තිය පරිභෝජනය කිරීමට අවස්ථාවක් නිර්මාණය වෙන්නේ. සූර්ය බලශක්තිය ලබාගැනීම සඳහා ඩාත්ම ඵලදායි ක්‍රමයක් වන්නේ පැනල සවිකිරීම සඳහා වැව් භාවිතා කිරීමයි. නියමු ව්‍යාපෘතියක් වශයෙන් අපි කිරිඉබ්බන් වැවේ සහ චන්ද්‍රිකා වැවේ අවශ්‍ය කටයුතු ආරම්භ කොට තිබෙනවා. ඒවගේම මන්නාරම ආශ්‍රිතව සුළං විදුලි බලාගාර ‍ව්‍යාපෘතියත් ක්‍රියාත්මකයි. එම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුශාසනා සහ සහයෝගය ලබාදීමට පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ස්වේච්ඡාවෙන්ම සිය කැමැත්ත පළ කළා. අපේ රටේ අවශ්‍යතා වෙනුවෙන් උන්වහන්සේ ජාතික සුනිත්‍ය බලශක්තිය අධිකාරියට ලබා දෙන මෙම සහයෝගය අපි විශේෂයෙන් අගය කරනු ලබනවා.”

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *