Fri. Feb 21st, 2025

ලොකු හාමුදුරුවන්ව බේරා ගන්න දිවි පිදූ චූටි මැණිකේ…

මේ ලිපියෙන් අද ඔබට කියන්නේ හරිම සංවේදී කාරණාවක් ගැන. ඒ තමයි විහාරස්ථානයක සුරතලයට ඇතිකළ සුනඛයකු, හදිසියේම එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළට පැමිණි නාගයකු මරාදමා, විහාරාධිපති හිමියන්ගේ ජීවිතය බේරාගැනීම. එහෙත් නාගයාගේ දෂ්ට කිරීම හේතුවෙන් සුරතල් සුනඛයාද මියගොස් තිබෙනවා. අපි මේ සංවේදී කතාව ගැන කියන්න පාදක කරගන්නේ Travel Trinco යූටියුබ් නාලිකාවේ පළවූ වීඩියෝවක්. ඉතින් Travel Trinco චැනලය එම සංවේදී සිදුවීමට මුහුණ දුන් මැදගම පන්සලේ විහාරාධිපති හිමියන් සමග කරපු සාකච්ඡාව හරහා ඔබට මේ කතාව අරගෙන එන්නම්.

Travel Trinco
මැදගම පන්සලේ නායක හාමුදුරුවෝ සුරතල් බල්ලෙක් ඇතිකළා. ඒ බල්ලා නායක හාමුදුරුවන්ගේ ජීවිතේ බේරගන්නවා. මේක හරිම සංවේදී සිදුවීමක්. හේතුව, හාමුදුරුවෝ වැඩඉන්න කාමරයට නයෙක් ඇතුළු වෙනවා. එතකොට ඒ සුරතල් බල්ලා නයා සමග පොරබදලා, හාමුදුරුවන්ට ඒ කිට්ටුවටවත් යන්න නොදී උන්වහන්සේගේ ජීවිතේ ආරක්ෂා කරගන්නවා. තිරිසන් සතෙක් වුණත්, තමන්ගේ ජීවිතේ පරදුවට තියලා හාමුදුරුවන්ගේ ජීවිතේ බේරගෙන තියෙනවා. අපි හාමුදුරුවන්ගෙන්ම ඒ සිදුවීම ගැන අහලා බලමු.

විහාරාධිපති ස්වාමින්වහන්සේ
මෙයා පන්සලට ඇවිල්ලා දැනට අවුරුදු 6ක් වෙනවා. මෙයාව ගෙනාවේ කොළඹ ප්‍රදේශයෙන්. ඒ කාලය තුළ මාව ළඟින්ම ඇසුරු කළා. මම ලංකාව පුරාම ආගමික ස්ථාන වන්දනා කරන්න වැඩම කරලා තියෙනවා. ඒ යන හැම ගමනකටම මේ සතාත් මාත් එක්ක ගියා. එයාව දාලා යන්න විදියක් නෑ. එයා කොහොම හරි වාහනේට නගිනවා මාත් එක්ක යන්න. ඒ වගේම හැමදාම උදේ 5.30 වෙද්දී මේ සතා බුදුන් වඳිනවා. හවස 6.30ටත් බුදුන් වඳින සතෙක්. උදේ 5.30ටත් මාත් එක්ක බුද්ධ පූජාව තියන්න යන සතෙක්. දවල් 11ටත් මාත් එක්ක බුද්ධ පූජාව තියන්න යන සතෙක්. මම පන්සලේ නැති වෙලාවට කිසිම ආහාරයක් මෙයා ගන්නේ නෑ. ඒ තරම් මට ළෙන්ගතුයි. බොහොම ළඟින්ම හිටිය මගේ දරුවෙක් හා සමානව මට ආදරය කරපු, රැකවරණය දීපු සතෙක්.

ඊයේ සවස 4ට විතර අපේ ආවාස ගේ ඇතුළට විෂඝෝර නයෙක් ඇවිල්ලා තියෙනවා. නමුත් මම දැක්කේ නැහැ. මම ඒ වෙලාවේ දාන ශාලාවේ භාජන සෝදමින් හිටියේ. කවදාවත් නැති ලොකු ශබ්දයක් ආවාස ගේ පැත්තෙන් ඇහුණ නිසා මම විපරම් කරලා බැලුවා. බලනකොට බල්ලා මාව හපන්න පැන්නා. කවදාවත් එයා එහෙම කරලා නැහැ මීට කලින්. ඒ මට මොකක් හරි අනතුරක් වෙයි කියලා මම එතැනට එන එක වළක්වන්නයි එයා මට හපන්න පැන්නේ. මම ආවාසගෙයි තියෙන පුටුවකට නැගලා ඒ පැත්ත බැලුවා. නමුත් වෙනත් සතෙක් පේන්න හිටියේ නෑ. එතකොටම නාගයෙක් පිඹින සද්දේ ඇහුණා. නමුත් මට හොයාගන්න බැරිවුණා. ටික වෙලාවක් යනකොට එතැන තියෙන ලී පෙට්ටියක් ඇතුළෙන් පිඹින සද්දේ ඇහුණා. මම ඒ පෙට්ටිය සාලෙට ඇදගෙන ආවා. එතකොටම නයාගේ වල්ග කොටස එළියට ආවා. එතකොටම බල්ලා පැනලා නාගයාව අල්ලගත්තා. ඌව හපලා මැරුවා. ඊට පස්සේ නාගයාව අරගෙන මිදුලට ගියා. මගේ ජීවිතේ බේරගන්න තමයි එයා එහෙම කළේ.

මට තේරුණා බල්ලාට නයා දෂ්ට කරලා ඇති කියලා. මම ඉක්මනටම බල්ලව කන්තලේ පශු වෛද්‍ය කාර්යාලයට අරගෙන ගියා. එතැනදී සතාව බේරගන්න ලොකු උත්සාහයක් දැරුවා. විශාල මුදලකුත් වැය කළා. නමුත් බල්ලාව බේරගන්න බැරිවුණා. ඊට පස්සේ ඌව මල් ශාලාවට අරගෙන ගිහින් අවසන් කටයුතු සඳහා බාරදුන්නා.
මේ බල්ලට මම ‘චූටි මැණිකේ’ කියලා නම දාලා තියෙන්නේ. ඇත්තටම මෙයා මගේ ආරක්ෂකයෙක්ම තමයි. දායකයෙක් ඇවිල්ලා මට වඳිනකොට වුණත් එයා ඇවිල්ලා ඉව කරලා බලනවා. කාටවත් කරදරයක් කරන්නේ නැහැ. පොඩි ළමයින්ට හරිම ආදරේ සතෙක්. මේ අවුරුදු 6ක කාලයේදී කිසිම කෙනකුට උගෙන් කරදරයක් වෙලා නෑ. පන්සලේ ඉන්න කුකුළෝ බල්ලෝ වගේ වෙනත් කිසිම සතෙකුට කරදරයක් නෑ. නමුත් පිටස්තර බල්ලන්ට එන්න දෙන්නේ නෑ.

සාමාන්‍ය මනුස්සයෙක් මැරුණාම අවසන් ගෞරව දක්වන විදියටම මම ‘චූටි මැණිකේ’ වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්න කටයුතු සූදානම් කළා. මට ඒ සතා කරපු උපකාරය වෙනුවෙන්, දක්වන කෘතවේදීතාවක් විදියට මට කරන්න පුළුවන් උපරිම දේ මම කළා. වෙනමම පෙට්ටියක් හදවලා, චූටි මැණිකේව ඒකේ තැන්පත් කරලා ගමේ අයට අවසන් ගෞරව දක්වන්න ඉඩ හදලා දුන්නා. ඒ වගේම චූටි මැණිකේ වෙනුවෙන් ආගමික වතාවත් සියල්ලම මහාසංඝරත්නය වැඩමකරවලා ඉටුකරන්නත් මම සූදානම් කරලා තියෙනවා.

මනුෂ්‍ය ජීවිතයක් බේරාගන්න, තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා කටයුතු කරපු පිනෙන් මේ සත්වයාට උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Travel Trinco යූටියුබ් නාලිකාවෙනි

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *