Sat. Jul 27th, 2024

ගල් රෝලක් හොරකම් කරගෙන යයි…!

නාවලපිටිය ප්‍රදේශයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුත්තකට පෞද්ගලිකක ආයතනයක් විසින් ගෙනවිත් තිබු කාපට් තලන යන්ත්‍රය ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට නාවලපිටිය පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

රු ලක්ෂ 130 ක් පමණ වටිනා මෙම කාපට් තලන යන්ත්‍රය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ව්‍යාජ ලියකියවිලි සකස් කර එම යන්ත්‍රයේ චැසි අංකයද වෙනස් කර හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට මේ වසරේ අප්‍රේල් මස (25) දින අලෙවි කර තිබියදි නාවලපිටිය පොලිසිය විසින් එම යන්ත්‍රය සොයාගෙන ඇත.

නාවලපිටිය බව්වාගම සමනලගම ප්‍රදේශයේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුත්තකට එම යන්ත්‍රය කොන්ත්‍රාත්කරු විසින් රැගෙනවිත් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් තිබු අවස්තාවේ එම සංවර්ධන කටයුත්ත තාවකාලිකව නතර කිරිම නිසා එම යන්ත්‍රය එම මාර්ගය අභියස ගාල් කර තිබියදි සැකකරුවන් දෙදෙනා ව්‍යාජ ලියකියවිලි සකස් කර ප්‍රදේශවාසින්ට මුල්‍ය සමාගමකින් බව පවසා යන්ත්‍රය ලොරි රථයක නංවාගෙන රැගෙන ගොස් අලෙවි කර ඇත.

එම යන්ත්‍රය සංවර්ධන කටයුත්ත සදහා රැගෙන පැමිණි කොන්ත්‍රාත්කරු විසින් එම යන්ත්‍රය යලිත් රැගෙන යාමට ඉකුත් සතියේ නාවලපිටියට පැමිණි අවස්තාවේ යන්ත්‍රය ගාල් කර තිබු ස්ථානයේ යන්ත්‍රය නොතිබුණු නිසා සිද්ධිය සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරු විසින් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ල අනුව විමර්ෂණ ආරම්භ කර නාවලපිටිය පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ සිදු කර හොරණ ප්‍රදේශයට අලෙවි කර තිබු කාපට් තලන යන්ත්‍රය සොයාගෙන ඇත.

එම යන්ත්‍රය අලෙවි කල සැකකරුවන් දෙදෙනා මේ වන විට නාවලපිටිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *